May 02, 2024

ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලු රටවල් සමඟ මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් ශ‍්‍රී ලංකා රජය ගෙන යන මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග‍්‍රහණ රැසක් උදා කර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත‍්‍ර පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබා දී තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය රජය නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාගෙන සහය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

මේ අතර ශ‍්‍රී ලංකාවට ඉතාමත් හිතවත් අයුරින් කටයුතු කරන බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සභික බාරෝන් නෙස්බි (Baron Naseby)  සාමිවරයා ද ලන්ඩන් නුවරදී ජනාධිපතිවරයා මුණ ගැසිණි.

ශ‍්‍රී ලංකා රජය අද ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ නෙස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවේ සැබෑ මිත‍්‍රයකු ලෙස ඒ වෙනුවෙන් ලබාදිය හැකි සියලු සහය ලබා දෙන බවට ද සහතික විය.

එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සංහිඳියා සහ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ද අගය කළ සාමිවරයා පශ්චාත් යුද සමයේ ශ‍්‍රී ලංකාව ඉටු කරමින් සිටින කාර්යභාරය ලොව අන් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ද කියා සිටියේය.

එම වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි සහ ප‍්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනීවාවලට නිසි පරිදි නොලැබීම කනගාටුවට කරුණක් වන අතර, එම සත්‍ය තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට තම උපරිම සහය ලබාදෙන බවට ද සහතික විය.

ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධන සහ සංහිඳියා වැඩපිළිවෙළ වෙනුවෙන් නෙස්බි සාමිවරයා ලබාදෙන පෞද්ගලික මැදිහත්වීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.

Rate this item
(0 votes)