April 26, 2024

ජනපති ටෝකියෝ නුවර නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මිලියන 9.3 ක් වන ටෝකියෝ නුවර වෙසෙන ජනතාව විසින් දෛනිකව බැහැර කරනු ලබන මෙට්ට්‍රික් ටොන් 11,000 ක් පමණ වන කැළි කසළ කළමනාකරණය සඳහා මෙවැනි මධ්‍යස්ථාන 23 ක් පවත්වාගෙන යනු ලබයි.

ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්වූ ෂිනගාවාහි පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී අපද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් 600 ක් පමණ දෛනිකව කළමනාකරණය කෙරේ.

නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරි වන ප‍්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද මෙහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ කැළිකසළ ගැටලුව විසඳීම සඳහා ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබාගැනීමේ හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ප‍්‍රධානී විසින් මෙම මධ්‍යස්ථානයේ කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)