April 27, 2024

‘අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ’කලාපීය සම්මන්ත්‍රණයක්

දකුණු ආසියානු රටවල  අධ්‍යාපනයේ තිරසර සංවර්ධනය උදෙසා යුනෙස්කෝ සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව එක් ව ක්‍රියාත්මක කරනු ලබන ‘අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය’ (SARSIE – South Asia Regional Symposium on ICT for Education) පසුගියදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

ඉන්දියාව, නේපාලය, භූතානය, මාලදිවයින, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනයට අදාළ නිලධාරින් මේ සඳහා සහභාගි වන අතර ශ්‍රී ලංකාව සත්තාරක රට වශයෙන් ක්‍රියාත්මක වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම සමුළුව සම්බන්ධීකරණය කරනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ යුනෙස්කෝ නව දිල්ලි අධ්‍යක්ෂ Shigeru Aoyagi මහතා විසින් මෙම සමුළුවේ සමාරම්භක දේශන පවත්වන ලද අතර, ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - අධ්‍යාපනික අභියෝග සඳහා විසඳුමක්’ යන තේමාවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මානව සහ සමාජ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ Sungsup Ra මහතා විසින් දේශනයක් ද පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ප්‍රධාන සැලසුම සකස් කිරීම සඳහා උපදේශකත්වය සපයනු ලබන යුනෙස්කෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබයි.

මෙහිදී දකුණු ආසියානු රටවල අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, තොරතුරු තාක්ෂණ කුසලතා සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා තොරතුරු තාක්ෂණයේ ඵලදායී භාවිතය ආදී මාතෘකා සාකච්ඡාවට ලක් කෙරිණි.

Rate this item
(0 votes)