April 27, 2024

දකුණු ආසියාවේ වසරේ මහ බැංකු අධිපති කුමාරස්වාමි

‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරනු ලැබ තිබේ.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරවලට සමගාමීව ඉකුත් දා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් හා ආයතන සඳහා ප්‍රවෘත්ති උපදෙස් සහ දත්ත ලබාදෙන සේවාවක් වන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ‘මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන් හා සාමූහික ප්‍රවේශයක්’ යන මැයෙන් ලිපියක් පළ කරමින් කුමාරස්වාමි මහතා වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස නම් කර තිබේ. 

අභියෝග හමුවේ වුවද සන්සුන්ව නිරවුල්ව නිවැරැදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇගයිය යුතු බව සඳහන් කරන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ශ්‍රී ලංකාවේ හමුවේ ප්‍රශ්න, අභියෝග හා ගැටලු රැසක් තිබෙන බව ද කියයි. එසේ වුවද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ හැකි ධනාත්මක කරුණු, වත්කම් සහ ලක්ෂණ තිබෙන බව කියන එම සඟරාව මහ බැංකු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉන් එකක් යැයි ද කියයි.

පසුගිය වසරේ ජූලි 2 වැනිදා මහ බැංකු අධිපති ධුරයට පත්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රතිපත්ති සම්පාදනය, ආර්ථික උපදේශන කටයුතු සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක තුනක අත්දැකීම් ඇත්තෙකි. 

Rate this item
(0 votes)