April 26, 2024

ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් තත්ත්ව සතියක්

ඔක්තෝම්බර් 14දාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම සතිය ඊයේ (09) සිට ලබන 15දා දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික තත්ත්ව සතිය පිළිබඳ ව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ එම ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර ජාතික තත්ත්ව සතිය "ප්‍රමිති නගර විධිමත් කරයි" යන තේමාවෙන් ක්‍රියාත්මක වන අතර මෙම සතියක කාලය පුරා ජනතාව, කර්මාන්තකරුවන් මෙන් ම පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කෙරේ.

රටවල් 25ක නියෝජිතයින් 1946 වසරේ ඔක්තෝම්බර් 14දින ලන්ඩන් නුවරදී රැස්ව ප්‍රමිතිකරණය පිළිබඳ කටයුතු කිරීමට අන්තර්ජාතික ආයතනයක අවශ්‍යතාවය පිළිබඳ ව සාකච්ඡා කොට ඇති අතර 1947වසරේ දී එය සංවිධානයක් ලෙස ස්ථාපිත කොට ඇත. එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 163ක් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ (ISO) සමාජිකත්වය දරයි.

පිටරටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා යම් ද්‍රව්‍යයන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රමිති ලබාදීම සිදුකරන අතර ම ඒ සම්බන්ධයෙන් වන නියාමන කටයුතු සිදු නොකරන බවත් රටේ යම් යම් නීති රීති වෙනස් කිරීම් සිදු කිරීමේ දී ඊට අදාළව වෙනස් වීම සඳහා කර්මාන්තකරුවන්ට සිදුවන බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය.

ආර්ථිකයේ සියලු ම අංශවලට අදාළ ජාතික ප්‍රමිති ප්‍රකාශයට පත් කිරීම හරහා භාණ්ඩ අපනයනයේ දී ඉතා පහසුවක් වී ඇතැයි ද ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ගෙන්වීමට අවසර ලබානොදීම හේතුවෙන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු වන බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එන්.එන්. සතරසිංහ මහත්මිය පැවසුවාය.

Rate this item
(0 votes)