May 08, 2024

ස්ලින්ටෙක් ඇකඩමියෙන් දර්ශනපති උපාධියක්

September 27, 2017

විද්‍යා, තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ ආයතනයට අනුබද්ධව ස්ලින්ටෙක් ඇකඩමිය සහ එම ඇකඩමිය මගින් නැනෝ සහ උසස් තාක‍්ෂණය පිළිබඳ දර්ශනපති උපාධිවැඩසටහන (M.Phil. Degree)   ආරම්භ  කිරීම විද්‍යා, තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී සිදුවිය.

රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මීට වසර කීපයකට ඉහතදී  මෙරට ප්‍රථම විද්‍යා උද්‍යාණය ඉදිකිරිමේ ව්‍යාපෘතියේ පලමු පියවර ලෙස ශ්‍රී ලංකා නැනෝ  තාක‍්ෂණ ආයතනය ආරම්භ කරන ලදි. මෙරට ආර්ථික සංවර්ධන හැරවුම් ලක්ෂය ලෙස සැලකිය හැකි මෙම ආයතනය මගින් මේ වන විට ඉතා සාර්ථක නැනෝ තාක්ෂණ ක්ෂ්‍රේත්‍රයේ උසස් පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. එම ආයතනයේ අනාගත දැක්ම අනුව නවතම වැඩසටහන ලෙස ස්ලින්ටෙක් ඇකඩමිය ආරම්භ කරන ලදී.

මූල්‍ය ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් බැහැරව, නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රය පුළුල්ව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ශ්‍රී ලාංකිය විද්‍යාඥයින් මෙරටදීම නිර්මාණය කිරීම  ස්ලින්ටෙක් ඇකඩමිය පිහිටුවීමේ අරමුණ වේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ඇතිව පිහිටුවන ලද උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ස්ලින්ටෙක් ඇකඩමිය ස්වාධීන පාලක මණ්ඩලයක් මඟින් පාලනය කෙරේ. ඇකඩමිය කුලපතිවරයා ලෙස මහේෂ් අමලීයන් මහතාත්, උපකුලපතිවරයා ලෙස මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා පත් කොට තිබේ.

උපාධි වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ අදහස් දැක්වීය.

"ලෝකයේ නවතම සහ සීඝ්‍රයෙන් නැඟී ආ තාක්ෂණය නැනෝ තාක්ෂණයයි. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පිහිටුවීම හරහා එම තාක්ෂණය ග්‍රහණය කර ගැනීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම ආයතනය නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ වලින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඉතා සතුටු විය හැකියි. එම ආයතනය මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර රැසකට හිමිකම් කියනවා.”

“නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රය හරහා අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යාඥයින් මෙරටදීම නිර්මාණය කිරීමට දායක වීම මෙම ඇකඩමිය පිහිටුවීමේ බලාපොරොත්තුවයි. ඒ අනුව ස්ලින්ටෙක් ආයතනයට ඉදිරියේදී බඳවා ගන්නා උපාධිධාරින් හට එම ආයතනයේ ඇති අති නවීන උපකරණ වල සහායෙන් පර්යේෂණ වල නිරත වෙමින් නැනෝ සහ උසස් තාක්ෂණය පිළිබඳ දර්ශනපති උපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වෙනවා. අප රටේ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් 8000 වැනි අගයක් දක්වා ඉහළ නංවමින් ඉහළ මධ්‍ය ආදායම්ලාභී රටක තත්වය කරා ළඟා වීමේ ඉලක්කය සාක්ශාත් කර ගැනීමට නම් අනිවාර්යෙන්ම මෙරට ක්‍රියාකාරී විද්‍යාඥයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 20,000 පමණ දක්වා වැඩි කර ගැනීම  අවශ්‍ය වේ. එසේම 0.9% පමණ ප්‍රතිශතයක පවතින උසස් තාක්ෂණය මත අගය එකතු කළ නිෂ්පාදන ලෙස අප විසින් සිදු කරන අපනයනයන් 10% වැනි ප්‍රතිශතයක් දක්වා ඉහළ නැංවීමක් කළ යුතුයි.එම ඉලක්ක ජය ගැනීමට මෙම ආයතනය මඟින්  ඉහළ දායකත්වයක් අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් පැවසීය.

 

Rate this item
(0 votes)