May 21, 2024

භාරත තෙන්නකෝන්ගේ ‘ඊළඟ කෑල්ල‘ පිටවේ

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් රචනා කළ දෙවන නවකතාව හා පස්වන කෘතිය වන, “ඊළඟ කෑල්ල“ නමින් එළිදක්වා තිබේ.

විවාහයෙන් පසු විදෙස් ගත වී සිටි යුවතියක්, එම විවාහය අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස මව්බිමට පැමිණ ගුරුපත්වීමක් ලබා මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක සේවයට යාමත්, එහිදී ඈ අත්විදින සමාජ ආර්ථික දේශාපලන හා සංස්කෘතික අත්දැකීම් පිළිබදවත් සාකච්ඡා කරමින් මෙම නවකතාව ඉදිරියට ඇදෙයි. ප්‍රත්‍යන්ත ජනපදවල වැසියන්ගේ ජීවන තත්ත්වය, තම මූලික ගැටලු හමුවේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්ම අයිතිවාසිකම් හා යුතුකම් ඉදිරියේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබද සාකච්ඡා කරන නවකතාව, විවිධ චරිත අනුසාරයෙන් එකී කලාපයන්ගේ ඛේදනීය ජීවිත අත්දැකීම් විවර කරයි.

ජනගැටලු හමුවේ දේශපාලනඥයින් ඇතුළු පාලකයින්ගේ අවධානය යොමු වීමේ ප්‍රමාණය හා වපසරිය පිළිබද යථාර්ථ ලෝකයේ අත්දැකීම් සමගින් ඉදිරිපත් කරන කෘතිය - යුද්ධය, නියගය, අලි-මිනිස් ගැටුම මෙන්ම විදේශ රැකියා හා සම්බන්ධ මහපොළවේ ඛේදවාචකය පිළිබද සංවාදයකට මුල පුරයි. එසේම, පද්ධතීන් ගොඩගැනීමේ අරමුණින් බාහිරින් එම තැන් වලට එන ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයින්ට ද අදාල අවශ්‍යතාව ඇති සමාජයෙන්ම එල්ලවන බාධාවන් හා අභියෝගයන් “ඊළඟ කෑල්ල“ නවකතාවේ දක්වා තිබේ.

කෘතිය මූලිකව පෙළගැසී ඇත්තේ, එළැඹෙන අභියෝග හමුවේ දිරිය දියණියක ලෙසින් නැගී සිටි යුවතියක සිය අකලංක ආදරය සහෝදර ප්‍රේමයකට හිලව් කර පුදසුන මත තබා පූජා කළ අනුවේදනීය ආදර කතාවක් වටාය.

මීට පෙර භාරත විසින් ‘අසමජ්ජාති ආදරය‘ නවකතාව (2012), ප්‍රවෘත්තිකරණයේ නිරත ජනමාධ්‍යවේන් සදහා වන අත්පොතක් වූ ‘ප්‍රවෘත්ති අත්පොත‘ (2013), ‘ලක් නැණ පැණ‘ දැනුම මිනුම සංග්‍රහය (2013-සම සංස්කරණය) හා ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ සංග්‍රහය වූ ‘පළමු පුරවැසි මැදුරු පුරාණය‘ (2015) රචනා කරනු ලැබීය.

 

Rate this item
(0 votes)