May 03, 2024

My Number තාක්ෂණය ලංකාවට  

මිලියන 120 ක ජපන් ජනතාවගේ දෛනික ජීවිතයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා නවීන තාක්ෂණය මගින් හඳුන්වාදී ඇති My Number සංකල්පය ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දීමට ජපානය සිය කැමැත්ත පළ කර ඇත.

ජපාන පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී Fukuda Sensai මහතා ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කර තිබේ.

නවතම තාක්ෂණය සම්බන්ධ කරගෙන පුද්ගලයන්ගේ සියලු දත්තයන් ඇතුළත් කරමින් දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන් වෙනුවෙන් යොදා ගත හැකි වන සේ විද්‍යුත් කාඩ්පතක් ලබාදීම My Number සංකල්පය තුළින් සිදුවේ.

අදාළ අංශ සමග සාකච්ඡා කොට මෙම නව තාක්ෂණ ක‍්‍රමවේදය යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලා කඩිනමින් ඒ සඳහා පියවර ගන්නා බවට මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

නිල සංචාරයක් සඳහා ජපානයට ගිය අවස්ථාවේ ජපන් තාක්ෂණය දැක තමා පුදුමයට පත්වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා නවීන ජපන් තාක්ෂණය ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ජපානය ගත් තීරණයට සිය ස්තූතිය ද පළ කළේය.

ජපන් සංචාරය අතරතුරදී එරට අග‍්‍රාමාත්‍ය Shinzō Abe මහතා ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා තමන්ට කළ ආරාධනය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළ අතර නැවත ජපානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජපාන පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී Fukuda Sensai මහතා ජනාධිපතිවරයාට ආරාධනයක් ද කළේය.

මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma මහතා ද එක්ව සිටියේය.

Rate this item
(0 votes)