May 04, 2024

ශ්‍රීලංකන් යානා 4 ක් පාකිස්තානයට - මත්තල චීනයට (VIDEO) 

ශ්‍රීලංකන් ගුවන් සේවය සතු A330 ගුවන් යානා 4 ක් අර්ධ කල්බදු පදනම යටතේ පාකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවය වන PIA වෙත ලබාදීමට කටයුතු කරනු ලබන බව බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (21) එම අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

යුරෝපීය ගමනාන්ත කිහිපයක් වෙත සිදුකරනු ලැබූ ගුවන් ගමන් නවතා දැමීමත් සමගම ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේ වනවිට ගුවන් යානා අතිරික්තයක් ඇති බවත් මෙම ගුවන් යානා වෙනත් ගුවන් මාර්ගවල පියාසර කිරීමට නොහැකි බැවින් ඒවා කල්බදු පදනම යටතේ වෙනත් ගුවන්සේවා සඳහා ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව පළමු ගුවන්යානය ලබන මස තුළ දී PIA ගුවන් සේවය වෙත පැවරීමට නියමිතය. ඉතිරි ගුවන්යානා 3 වසර 4 ක කාලයක් වෙනුවෙන් අර්ධ කල්බදු පදනමින් ලබාදීමට ඉදිරියේ දී පියවරගනු ඇත.

මෙම අර්ධ කල්බදු පදනම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය ද ගුවන්යානාය සමඟ පැවරෙන අතර ගුවන්යානා හි සන්නාමකරණය PIA යටතේ සිදුවනු ඇත.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඒ 350 ගුවන් යානා ඇනවුමක් සිදු කර තිබූ බවත් එම ගුවන් යානා 4ක් මෙරටට ගෙන්වන බවත් නමුත් එක් යානාවක් සාකච්ඡා කර ඩොලර් මිලියන 15ක දඩයක් ගෙවා අවලංගු කළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

ලන්ඩන්-ලාහෝර්, ඉස්ලාමාබාද් ගුවන් මාර්ගවල මෙම ගුවන් යානා යෙදවෙනු ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

මේ අතර අග්‍රාමාතවරයාගේ චීන සංචාරයේදී මත්තල ගුවන්තොටුපොලේ කළමණාකරනය සම්පූර්ණයෙන්ම බාර ගැනීම සඳහා චීන ප්‍රධාන  ආයතනයක් කැමැත්ත පළ කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 24 July 2016 12:12