May 04, 2024

ගම්මැද්දට දින 100

ගම්මිරිස් ඇටයක්වත් නැතිව ගම්මැද්දට යාම තරමක අසීරු වෑයමක්. ඊට හේතුව, මේ ගම් බොහෝමයක, දුක නිදන්ගතව තිබීම යි. ඒ දුක විමසන්න් නම් මේ ජනතාවට යමක් දිය යුතුයි. යමක් දීම හෝ යමක් සිදු කිරීම පිළි ඳව සිහියේ තබාගෙන නිවුස් ෆස්ට් කණ්ඩායම් ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය සමග අති දුෂ්කර ගම්මානවලට පාතැබුවා.

 මේ ගම්මාන බොහෝමයකට අවසන් වරට ජනතා නියෝජිතයෙකු එසේ නැතිනම් මන්ත්‍රීවරයෙකු පැමිණ තිබුණේ ඡන්ද සමයේ. ඒ ගැන මේ ගම්වල ජනතාවට හිතේ තරහක් තිබුණු බව අපට පසක් වූයේ ඔවුන් කී තොරතුරුවලට අනුවයි. ඇතැම් ගම්වල ගෙට පහලින් ගංඟා ගලා ගියත් බීමට පිරිසිදු ජලය තිබුණේ නැහැ. වතුරේ සීතලට හිරිගඩු පිපිනවා. ඒත් මලකඩ හා කිවුලෙන් වකුගඩු හැකි‍ළෙනවා. සමහර ගම්වල පවුල් පනහකට හෝ හැටකට වැසිකිළි පහසුකම් ඇත්තේ ම නැහැ. පහසුකම්වලට වඩා අපහසුකම්වලින් පිරුණු පාසල් බොහෝමයක් අපි දුටුවා. බොහෝ ගම්වල ගුරු ගෙදර පාළුවට ගිහින් තිබුණේ, ගුරු මෙන් ම දරු ගෙදර නැවතීම නිස යි. සමහර ගම්වල පාර තෝරගන්න බැහැ. අලි ගම් වදින තැන්වල අලි වැට නැතත් අලි වැටෙන වළවල් පිරී පැවතුනා.

දුක ම ජීවිතය කොටගත් මේ ජනතාවගේ හැඟීම්, මැසිවිලි, ප්‍රශ්න අප විමසුවා. අපි ඔවුන්ට කන් දුන්නා. සියල්ල සටහන් කර ගත්තා. නමුත් ඔවුන්ට පිටුපෑ මහජන නියෝජිතයින් ගැන මතුව තිබූ තරහ සහ කලකිරීමට කුමක් කළ යුතු ද ? අපි ඒගැන හිතුවා. ඒ නිසයි යළිත් අපට රටපුරා ජනතාව අතරට යාමට සිදුවූයේ, යලිත් සිතන්න ඔවුන්ව පෙළඹවීමට. ජනතාව දුන් ඡන්දයට වටිනාකමක් ලැබී තිබේ ද? අපි ඇසූ ප්‍රශ්නයට ජනතාවගෙන් ලැබුණේ, දීර්ඝ පිළිතුරු. හද කකියන පිළිතුරු. හැබැයි එම පිළිතුරු ඔවුන්ගේ දුකට ගැලපුණා මිසක ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස පෙනුණේ නැහැ.

මේ හැම කෙනෙකුට ම ප්‍රායෝගිකව උදව් කිරීම අසීරු යි. නමුත් හැම කෙනෙකුට ම එක් අයෙකුට හෝ උදව් කළ හැකියි. මේ සිතුවිල්ල ක්‍රියාන්විතයක් බවට පත්වූයේ, ගම්මැද්ද දින සීයයත් සමග යි. අප සටහන් කරගත් දුක. ඒ දුකට හේතුව සොයා ජනතාව දුකෙන් මුදා ගැනීමට නිවුස් ෆස්ට් තීරණය කළා. යළිත් සිතන්න මහජන සේවා ක්‍රියාන්විතයේදී අප ජනතාවට අවධාරණය කළේ, ඔබ වෙනුවෙන් ඔබම පෙනී සිටින ලෙස යි. අප නියෝජනය කරන්නේ ද ඔබයි. ඒ නිසා අපි ජනතාව සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා.

දුකට උණු වන සිත් ඇති ජනතාවගේ මුල්යට පරිත්‍යාගයෙන් ජූලි විසි වෙනිදා සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් ව්‍යපෘති රැසක් ක්‍රියාවට නැංවෙනවා. පළමු දිනයේ දඹුල්ල, දමනයායේ මාර්ගයක්, වැලිගම, බොරාලේ ජල ව්‍යාපෘතියක් සහ කිලිනාච්චියේ පෙරියපරන්දන් රජයේ විදුහලේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා. එතැන් සිට දින සියය පුරාවට ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ජනසතු කිරීම ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයේ අපේක්ෂාව යි. එය අපේක්ෂාවකට වඩා බැරෑරුම් වගකීමක් ලෙස අපි විශ්වාස කරනවා.

 

Rate this item
(0 votes)