May 06, 2024

අඩි 40ට අඩු ධීවර බෝට්‌ටු නිෂ්පාදනය අත්හිටුවීමට ඇමැතිගෙන් නියෝගයක්

අඩි 40කට අඩු කුඩා බෝට්ටු නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව අඩි 40කට අඩු කුඩා බෝට්ටු බෝට්ටු නිෂ්පාදනය කළ ද ඒවාට අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් නොකෙරේ.

මේ වන විට මෙවැනි කුඩා බෝට්‌ටු හතළිස් ‌හත්දහසක්‌ පමණ මුහුදේ නාවික සැතපුම් 20 කට එහා සිට ධීවර කර්මාන්තයේ යෙදෙන බවද බෝට්‌ටු සංඛ්‍යාව වැඩි නිසා ධීවරයන් අතර මුහුදේ කලකෝලහාල ඇතිවන බවද මෙවැනි බෝට්‌ටු බොහෝමයක්‌ ප්‍රමිතියෙන් තොර බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ නිසා සමහර බෝට්‌ටු මුහුද මැදදී අක්‍රිය වන බවත් පසුගියදා එවන් බෝට්‌ටුවක්‌ ධීවරයන් සමඟ අතුරුදන්ව ඇති බවත් කී ඇමැතිවරයා අඩි හතළිහට අඩු බෝට්‌ටු වෙනුවට අඩි පනස්‌පහට වැඩි විශාල යාත්‍රා නිෂ්පාදනය සඳහා සියයට පනහක සහනාධාරයක්‌ ලබාදීමට රජය තීරණය කළ බවද පැවසී ය.

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යායුත්තේ අඩි පනස්‌පහට වඩා විශාල යාත්‍රා බවද මෙවැනි බෝට්‌ටු නිෂ්පාදනයට සහනාධාරයට අමතරව ණය මුදලක්‌ ලබාදීමට සූදානම් බවද ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් අඩි හතළිහට අඩු බෝට්‌ටු නිෂ්පාදනය සඳහා මේ වන විටත් ඇණවුම් ලැබී ඇත්නම් ඒවා නිෂ්පාදනය කළ හැකි නමුත් අලුතින් ඇණවුම් භාර ගැනීම නොකළ යුතු බවද ඇමැතිවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)