May 06, 2024

බඩුමිල වැඩිවීම නවතන කමිටුවක් එයි

කෘතීම ලෙස හා අසාමාන්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් වහාම රජය ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගත් බවත් ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (05) ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු වූ  බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ජනාධිපති, අගමැති, මුදල් ඇමති, කර්මාන්ත හා වාණිජ ඇමති, ධීවර ඇමති යනාදී වශයෙන් අදාළ අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ඊයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුවේදී ගත් අතර එම තීරණ ඉදිරි දින 4ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් ගැසට් කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වඩාත් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය හඳුනාගත් භාණ්ඩ 10කට රජයේ සහනාධාර ලබාදීම ගැසට් කිරීමට මෙම විශේෂ කමිටුව තීරණය කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පාරිභෝගික අධිකාරිය යටතේ පොලිස් කොට්ඨාස මට්ටමින් පත් කිරීම සිදු වන බවත් එම කටයුතු සඳහා තවත් නිලධාරීන් 100ක් අනුයුක්ත කිරීම සිදු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සියලු මහජන නියෝජිතයින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට හැකි බව ද සඳහන් කළේය.

සතියකට දෙවරක් මිල ගණන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමට අපේක්ෂා කරන බවත් වැට් සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 July 2016 14:05