May 06, 2024

කොටස් වෙළඳපොළ හසුරවනු ලැබුවේ සීමිත පිරිසක්

පසුගිය රජය සමයේ කොටස් වෙළඳපොළ හසුරවනු ලැබුවේ ඉතාම සීමිත පිරිසක් විසින් බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්, කොටස් වෙළඳපොළ පිළිබඳ 
විශ්වාසය නැතිවී ගිය බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

“2015 කොටස් වෙළඳපොළ පහළ යෑමට ප්‍රධාන හේතුව වන්නේ,ලෝක ආර්ථිකයේ ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයයි. චීන ආර්ථිකයේ වර්ධන වේගය පහළ යෑම, අමෙරිකාවේ පොළී අනුපාතය ඉහළ යෑම හේතුවෙන් සංවර්ධනය වන රටවල කෙටි කාලීන ආයෝජන නැවත ගලා යෑමයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, 2015 ඉන්දියානු කොටස් වෙළඳපොළ සියයට 5%කින් කඩා වැටුණා. බංගලාදේශය සියයට 4.83%කින් පහළ වැටුණා. චීනයේ Sඇන් හයි කොටස් වෙළඳපොළ 2015 ජූලි සහ අගෝස්තු මාසවලදී සියයට 30%කින් පහළ ගියා. 

පසුගිය රජය සමයේ කොටස් වෙළඳපොළ හසුරවනු ලැබුවේ, ඉතාම සීමිත පිරිසක් විසින්. මොවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්, කොටස් වෙළඳපොළ පිළිබඳ විශ්වාසය, නැතිවී ගියා. කලාපයෙත් මේ තත්ත්වය බලපෑවා. ගෝලීය ආර්ථිකයේ ඇති වී තිබෙන තත්ත්වය බලපෑවා. විදේශිකයෝ මේ රටට එනවිට සල්ලි හොරකම් කරනවා නම් ඒ විදේශිකයෝ එන්නේ නෑ. ඒ පුද්ගලයෝ ආර්ථිකයට බලවත් හානියක් කරනවා. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට උත්සහ කළ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදු වුණා. මෙවැනි ක්‍රියා නිසා පසුගිය රජය සමයේ විශ්වාසය බිඳ වැටුණා“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

Rate this item
(0 votes)