May 06, 2024

ඉදිරි වැට් බදු සාකච්ඡා සඳහා වෙළෙඳ සංගම් නියෝජිතයෙකුත්

වැට් බද්ද පිළිබඳ වෙළෙඳ සංගම් නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04)  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වැට් බද්ද පිළිබඳ සියලු පාර්ශවවල අදහස් සහ යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර එහි පළමු සාකච්ඡාව වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ පැවැත්විණි.

වැට් බද්ද බලපාන භාණ්ඩ සහ එහි බලපෑමක් සිදු නොවන භාණ්ඩ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව මෙහිදී වෙළෙඳ සංගම් නියෝජිතයින් විසින් පෙන්වා දුන් අතර ඒ සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැහැදිළි කළේය.

වැට් බදු පැනවීම සිදුව ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ද මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළේය.

පාරිභෝගික භාණ්ඩයක් ආනයනය කිරීමේ සිට එය පාරිභෝගිකයා අතට පත්වන තුරු සිදුවන මිල වෙනස්වීම් පිළිබඳ සටහන් කෙරෙන විධිමත් ක‍්‍රමවේදයක් නොමැතිකම මෙම ගැටලුවලට ප‍්‍රධාන හේතුවක් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙම සියලූ කටයුතුවලදී පළමු අවධානය යොමුවිය යුත්තේ පාරිභෝගිකයා කෙරෙහි බව පැවසූ ජනාධිපතිවරයා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ගැටලූ පිළිබඳව ද අවධානය යොමු කරමින් නිසි වැඩපිළිවෙළකට එළැඹෙන බව ප‍්‍රකාශ කළේය.

වැට් බද්ද පිළිබඳ ආර්ථික විශේෂඥයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් මෙන්ම සියලු පාර්ශව සමඟ ඉදිරියේදී සිදු කෙරෙන සාකච්ඡා සඳහා වෙළෙඳ සංගම් නියෝජිතයෙකු අනිවාර්යයෙන්ම සහභාගී කරවීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)