May 05, 2024

කර්මාන්තකරුවන්ගේ ගැටළු විසඳීමට ජාතික කමිටුවක්

ලංකාවේ කර්මාන්තපුරවල සිටින ආයෝජකයින් හා කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික කමිටුවක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කෙට ඒ සඳහා විසඳුම් ලබා ගැනීමත්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී කර්මාන්තකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමත් අරමුණු කරගනිමින් මෙම ජාතික කමිටුව පිහිටුවන ලදී. 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සියළුම කර්මාන්තපුරවල ආයෝජකයින්, කර්මාන්තකරුවන්, කර්මාන්තපුර සඳහා යටිතල පහසුකම් සපයන්නන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙම ජාතික කමිටුව නියෝජනය කරනු ඇත. 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ස.තො.ස. ශ්‍රවණාගාරයේදී මෙම කමිටුව පිහිටුවන ලද අවස්ථාවේදී මූල්‍යමය, පාරිසරික, අමුද්‍රව්‍ය සපයාගැනීම, වෙළඳපල සපයාගැනීම, සේවක, බලශක්තිය, වරිපණම්, බදු ගෙවීම, විදුලි බිඳවැටීම්, අපද්‍රව්‍ය පිරිපහදුකිරීම වැනි හදුනාගත් පොදු ගැටඑ රැසක්  සඳහා අවධානය යොමු කළ අතර එම ගැටළු සඳහා විසඳුම් ලබාදීමද  සිදුවිය. 

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් T.M.K.B. තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු,  ආයතන ප්‍රධානීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයින් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

 

Rate this item
(0 votes)