May 05, 2024

විදුලිබිලට නව අය ක්‍රමයක්‌ එයි‌ - නව ක්‍ර‍මයේ වෙනස මෙන්න 

විදුලිය පරිභෝජනය කරන කාලය අනුව (Time of use) නව අය ක්‍රමයක්‌ හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සැලසුම් කර ඇති බවත් ලබන ඔක්‌තෝබර් මාසයේ සිට මෙම නව අය ක්‍රමය හඳුන්වාදීමට හැකි වනු ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මෙම ක්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත්‍රී 10.30 දක්‌වාද, රාත්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්‌වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්‌ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්‌වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්‌තුව සාමාන්‍ය ගාස්‌තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසයි.

මෙම නව ක්‍රමයට කැමති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක්‌ සවි කර ගත යුතුවෙයි. රුපියල් අට දහසක්‌ හෝ ඊට අඩු මුදලක්‌ ඒ සඳහා වැය කිරීමට සිදුවනු ඇති අතර මෙම නව ක්‍රමය මේ වන විට මහා පරිමාණයෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබේ.

සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නව මනුවක්‌ විදුලිබල මණ්‌ඩලය මේ වන විට නිෂ්පාදනය කරමින් පවතී.

රාත්‍රී කාලයේදී විදුලිය පරිභෝජනයට පාරිභෝගිකයන් යොමු කිරීමෙන් අධික විදුලි ඉල්ලුමක්‌ පවතින කාලයේදී විදුලිය නිෂ්පාදනය සඳහා කෙරෙන වැය අවම කර ගැනීම මෙම නව ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 June 2016 12:25