May 04, 2024

සියලු බහාලුම් පරීක්ෂා කළහැකි නවීන ස්කෑන් යන්ත්‍රයක් රේගුවට 

ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලු ම බහාලුම් පරීක්ෂාවට ලක් කළ හැකි ආකාරයේ නවීනතම ස්කෑන් යන්ත්‍ර සවි කිරීම ඉදිරි මාස තුනක කාලය තුළ සිදු කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය. 

මීට අදාළ ටෙන්ඩර් කැඳවීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට ඇතුළු වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු සියලු දෑ හඳුනා ගැනීමට හැකියාව උදා වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

රේගුව තුළ මෙවැනි තාක්ෂණික ක්‍රම ස්ථාපනය කිරීමට උත්සහ ගැනීමේ දී විපක්ෂයේ ඇතැමුන් ඊට බාධා එල්ල කරන බවත්, එමගින් ඔවුන්ට මෙම ක්‍රම මගින් සිදුවන අගතිය පැහැදිල බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් ශ්‍රී ලංකා රේගුව, පොලීසිය මෙන් ම මුදල් අමාත්‍යාංශයේ නව වැටලීම් ඒකකය ද ඉතා ම කැපවීමෙන් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේ ය. 

ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා සියලු අංශ එක්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍ය වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හඳුනා ගැනීම මිස එය සොයා ගත්තේ කුමන පාර්ශ්වය ද යන වග නොවන බවයි. 

විපක්ෂයට සම්බන්ධ ඇතැම් වෙබ් අඩවි කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 June 2016 15:05