May 05, 2024

ආර්ථික වර්ධනය සියයට 5.5ක් 

ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදිතය 2016 වර්ෂයේදී පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ රුපියල් මිලියන 2,088,024ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් 2016 පළමු  කාර්තුව සඳහා පවතින මිල ගණන් යටතේ සහ  ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකයන් නිෂ්පාදන ප්‍රවේශයට අනුව නිකුත් කොට ඇති වාර්තාවේ මේ බව දැක්වේ.

ඒ අනුව 2015 පළමු කාර්තුවේ දී මෙම දළ ජාතික නිෂ්පාදිතය රුපියල් මිලියන 1,978,609ක් ලෙස වාර්තා වී ඇති අතර ඒ අනුව 2016 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 5.5ක් ලෙස වාර්තා වී ඇත. 

2016 පළමු කාර්තු සඳහා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන කෘෂිකර්මික, කර්මාන්ත හා සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු මුළු දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයන් පවතින මිල ගණන් යටතේ පිළිවෙළින් සියයට 7.4ක්, සියයට 31.6ක්, සියයට 52.4ක් සහ සියයට 8.5ක් ලෙස වාර්තා වේ. 

මෙහිදී මෙම කාර්තුව සඳහා සමස්ත කාර්මාන්ත හා සේවා ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 8.3ක් සහ සියයට 4.9ක් වශයෙන් කැපී පෙනෙන වර්ධන වේගයන් වාර්තා වී ඇති අතර සමස්ත කෘෂිකර්මික ආර්ථික කටයුතු සියයට 1.9ක සුළු වර්ධනයක් වාර්තා වී ඇත. 

2015 පළමුවැනි කාර්තුවට සාපේක්ෂව 2016 පළමු කාර්තුව සඳහා කෘෂිකාර්මික ආර්ථික ක්‍රියාකාරකම් අතුරින් “ එළවළු වගා කිරීම“, පොල් වගාව ඇතුලත් තෙල් සහිත පලතුරු බෝග වගාව සහ සත්ව නිෂ්පාදන පිළිවෙළින් සියයට 16.3ක්, සියයට 10.0ක් සහ සියයට 5.1ක් ලෙස ඉහළ වර්ධන වේගයන් වාර්තා කර ඇත. එනමුදු “තේ වගා කිරීම“ සියයට සෘණ 11.6ක්, “රබර් වගා කිරීම“ සහ “කරදිය මත්ස්‍ය කර්මාන්තය“ යන කෘෂිකාර්මික ආර්ථික කටයුතු වෙන් වෙන් වශයෙන් සියයට 2.6ක් බැගින් වූ සෘණ වර්ධන වේගයන් වාර්තා විය. 

කර්මාන්ත අංශය සැලකීමේදී විශේෂයෙන් 2016 පළමු කාර්තුව තුළදී දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය සියයට 31.6ක් දක්වා වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම කර්මානත් ක්ෂේත්‍රයේ වර්ධන වේගය ද මෙම කාර්තුව තුළ දී කැපී වෙන ලෙස සියයට 8.3කින් ඉහළ ගොස් ඇත.

මේ සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන “ඉතිරි කිරීම් කාර්මාන්තය“ 2015 පළමු කාර්තුවට සාපේක්ෂව 2016 පළමු කාර්තුව තුළදී සියයට 12.0කින් කැපී පෙනන වර්ධන වේගයක් වාර්තා කර ඇත. 

එමෙන්ම විදුලි නිෂ්පාදන කර්මාන්තය, “රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන“ ආහාර බීම සහ දුම්කොළ නිෂ්පාදන සහ රෙදිපිළි, නිමි ඇඳුම් , සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන“ යන ආර්ථික කටයුතු 2015 පළමු කාර්තුවට සාපේක්ෂව 2016 පළමු කාර්තුව තුළ දී පිළිවෙළින් සියයට 10.1ක්, සියයට 7.0ක් සහ සියයට 1.2ක් සහ සියයට 1.9ක් ලෙස වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම මෙම කාල සීමාව තුළදී “ පතල් හා කැනීම් කර්මාන්තය“ සඳහා වාර්තා වූයේ සෘණ 1.5ක වර්ධනයකි.

සමස්ත දළදේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වයක් ලබාදෙන (සියයට 56.4) සේවා ක්‍රියාකාරකම් 2015 පළමු කාර්තුවට සාපේක්ෂව 2016 පළමු කාර්තුව තුළ දී සියයට 4.9ක වර්ධන වේගයක් ළඟා කරගෙන ඇත. 

2015 පළමු කාර්තුවට සාපේක්ෂව 2015 පළමු කාර්තුවට සාපේක්ෂව විශේෂයෙන් “මූල්‍ය හා මූල්‍ය  අතරමැදි සේවා කටයුතු“ , තොඟ සහ සිල්ලර වෙළඳාම් කටයුතු , අධ්‍යාපන සේවා සහා අනෙකුත් පුද්ගල සේවා යන සේවාවන් පිළිවෙළින් සියයට 15.9ක්, සියයට 5.7ක්, සියයට 5.7ක් සහ සියයට 6.7ක් වශයෙන් ඉහළ වර්ධන වේගයන් මෙම කාර්තුව තුළ දී වාර්තා කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)