May 05, 2024

මරුටි ඇතුළු කුඩා වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි 

නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බවයි.

2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව මෙරටට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තා වන අන්දමට  එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්‍රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වේ. උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.

මේ අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (නිසාන් ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ආනයනකරුවන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය. 

ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට වාර්තා වුවද, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මෙම නව සංශෝධනය සමග ටොයෝටා ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, නිසාන් එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් ද, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. 

කෙසේ වෙතත් ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් බලාපොරොත්තු වන බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.

Rate this item
(2 votes)