May 04, 2024

යාපනය සරසවියට ජපානයෙන් මිලියන 2100ක ප්‍රදානයක්

යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපන් රජය මගින් රුපියල් මිලියන 2100ක් ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ. 

කිලිනොච්චියේ පිහිටි එම පීඨය සඳහා අංග සම්පූර්ණ පහසුකම්වලින් යුත් ගොඩනැගිලි දෙකක් ඒ යටතේ ඉදි කෙරෙන බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර ජපාන රජය වෙනුවෙන් අත්සන් තැබුවේ එරට ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් ය.

එම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරු ද සහභාගී වී තිබේ.

"අද ජපාන රජය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබා මෙවැනි ප්‍රදානයක් ලබාදීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් අපි සතුට පළ කරනවා. ජපානය ලබා දුන් මේ ප්‍රදානය මේ රටේ අනාගත කෘෂිකර්මාන්තයේ අභියෝගයන් ජය ගැනීමට ඉමහත් සහයක් ඇති කරනවා. මෙම ප්‍රදානයන් උපරිම ඵලදායීතාවෙන් ප්‍රයෝජනයට ගැනීමට අපි සූදානම්" යනුවෙන් ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. "මේ වනවිට අපි ආපදා සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් වැය කරල තියෙනවා. එය මීට පෙර අවස්ථාවන්ට වඩා හය ගුණයක් විතර මුදලක්. ඊට අමතරව විවිධ රටවල්වලින් ආධාර උපකාර ලැබීම මේ වනවිට ආරම්භ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉකුත් අයවැය මගින් අපි යෝජනා කළ විශේෂ රක්ෂණ ක්‍රමය නිසා පීඩාවට පත් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට අපට හැකි වෙලා තියෙනවා. ජනතාවට හැකි උපරිම සහන සලසන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තියෙනවා." යැයි ද අමාත්‍යවරයා පැවැසී ය.

එම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී. අරසරත්නම්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වී ඇත.

Rate this item
(0 votes)