May 04, 2024

රබර් අපනයනයේ සෙස් බද්ද පහළට 

රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි අමු රබර් අපනයනයේ දී අය කරන සෙස් බදු මුදල කිලෝවකට රුපියල් 15.00 සිට රුපියල් 04.00 දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ. 

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික රබර් දේශීය ව අගය එකතු කිරීමේ කර්මාන්ත විසින් පරිභෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා අමු රබර් වශයෙන් අපනයනය කරනු ලබන රබර් කිලෝවක් සඳහා රුපියල් 15/- ක පමණ සෙස් බදු මුදලක් අය කිරීම සිදු කරනු ලැබේ. 

මේ වනවිට මෙරට නිෂ්පාදනය කරන ස්වාභාවික රබර්වලින් 80%ක් දේශීය කර්මාන්තකරුවන් විසින් පරිභෝජනය කරන අතර 20%ක පමණ ප්‍රමාණයක් අමු රබර් වශයෙන් අපනයනය කෙරේ. 

ලෝක වෙළෙඳ පොළේ රබර් මිල පහත යාමට සමගාමී ව ශ්‍රී ලංකාව තුළ ද රබර් මිල පහත යාම හේතුවෙන් කුඩා රබර් වතු හිමියන් ඇතුළු වගාකරුවන් මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර මේ වනවිට පවත්නා අඩු මිල තත්ත්වය වසර 2020 පමණ වනතෙක් පවතිනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. 

මෙම තත්ත්වය යටතේ රබර් අපනයනකරුවන් සහ දේශීය රබර් භාණ්ඩ නිෂ්පාදකයින් අතර ස්වාභාවික අමු රබර් සඳහා තරගකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම හරහා රබර් මිල ඉහළ යාමට සැලැස්වීම මගින් රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් අමු රබර් අපනයනයේ දී අය කරනු ලබන සෙස් බදු මුදල කිලෝවකට රුපියල් 15/- සිට රුපියල් 4/- දක්වා පහත හෙළීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

 

Rate this item
(0 votes)