May 03, 2024

රිදියගමින් වාර්තාගත ආදායමක් 

වසර 08 ක් පුරා බිලියන 15 ක් වැයකොට ඉදි කරමින් තිබූ රිදියගම සෆාරි උද්‍යානය විවෘත කර මාසයක කාලයක් ඉක්මවන්නටත් මත්තෙන් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ සත්ත්ව ලෝලීන්ට වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්නට මෙම සෆාරි උද්‍යානය සමත් වී ඇති අතර පසුගිය 15, 16 සහ 17 යන දිනවල දී සත්වෝද්‍යාන ඉතිහාසයෙහි වාර්තාගත ආදායමක් ලබා ගන්නට ද සමත් වී ඇත.

අප්‍රේල් මස 15 වැනි දා සංචාරකයින් 2,019 ක් පැමිණි අතර, ආදායම රුපියල් 334,000 ක් විය. අප්‍රේල් මස 16 වැනි දා සංචාරකයින් 20,982 ක් පැමිණි අතර, ආදායම රුපියල් 465,000 ක් විය. අප්‍රේල් මස 17 වැනි දා සංචාරකයින් 3,160 ක් පැමිණි අතර, ආදායම රුපියල් 475,000 ක් විය. 

පසුගිය දින තුනෙහිම අධික සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් සෆාරි උද්‍යානයට නව බස් රථ 04 ක් කුලී පදනම යටතේ ගෙන්වා ගැනීමට ද සිදු වී ඇත. එය සංචාරකයින්ගේ පහසුව උදෙසා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයක්වන අතර ඉදිරියේ දී සංචාරක පහසුව සඳහා නව වැඩ පිළිවෙළවල් රැසක් දියත් කිරීමට අමාත්‍යංශය සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මේ වනවිටත් සාකච්ඡා කොට අවසන් බව වාර්තා වේ.

නිදැල්ලේ සැරිසරන සතුන් දැක බලා ගැනීමට පාසල් දරු දැරියන් විශාල ප්‍රමාණයක් මෙම සෆාරි උද්‍යානයට පැමිණ ඇති බව ද හම්බන්තොට සෆාරි උද්‍යාන කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

Rate this item
(0 votes)