May 07, 2024

කොළඹ වරායේ SAGT ලෝකයේ හොඳම පර්යන්ත 05 අතරට

කොළඹ වරායේ මෙහෙයුම් සිදු කරන South Asia Gateway Terminals හෙවත් SAGT සමාගමේ බහළුම් පර්යන්තය ඵලදායිතාවෙන් ලෝකයේ හොඳම පෞද්ගලික පර්යන්ත 05 අතරට එක් වේ.

ප්‍රකට එක්සත් ජනපදයෙහි වානිජ සඟරාව කළ සමීක්ෂණයට අනුව SAGT බහළුම් පර්යන්තයට එහිදී හිමිව ඇති අන්තර්ජාතික ස්ථානයේ සිව්වැන්නයි. මීට අමතරව ඵලදායිතාවෙන් දකුණු ආසියාවේ පළමු ස්ථානයට පත්ව සිටින්නේද SAGT පර්යන්තය වේ. ජාත්‍යන්තරව සහ කලාපීය වශයෙන් ලැබූ එම ජයග්‍රහණ සනිටුහන් කරමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සමරු සටහන් තිළිණ කිරීම සිදු කෙරුණේ SAGT සමාගමේ ප්‍රධාන වෙළඳ නිලධාරී ටෙඩ් මුත්තයියා මහතා සහ වෙළඳ සහ අලෙවිකරණ කළමනාකාරිනී ධාෂ්මා කරුණාරත්න මහත්මියගේ සහභාගිත්වයෙනි.  

ගෝලීය වපසරියෙහි ශ්‍රී ලංකාවේ බහළුම් පර්යන්ත ක්‍රියාකාරිත්වයේ හැකියාව වෙනුවෙන් ලැබූ ගෞරවනීය නාමය සිහිගැන්වීම සනිටුහන් කරමින් එම සමරු තිළිණය පිරිනැමීම සිදු කෙරිණ. මෙහි දී අදහස් දක්වමින් වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූයේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන හැකියා ප්‍රදර්ශනය කරන වැදගත් අවස්ථාවක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකි බවයි. 

“ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිවැරදි ව්‍යූහාත්මක සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කැප වී ක්‍රියාකරමින් සිටිනවා. ඒ වගේම මේ ජයග්‍රහණය ලැබූ මේ මොහොතේ SAGT සමාගමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ එහි පාරිභෝගිකයන්ට අපේ සුභපැතුම් එක් කරනවා. කොළඹ වරාය හොඳම නැවතුම්පල බවට පත්කිරීම ඉදිරියේ දී අප හමුවේ ඇති අභියෝගයක්. ඒ සඳහා සියලු දෙනාම එක්විය යුතු යැයි මම විශ්වාස කරනවා.” යැයි ද අර්ජුන රණතුංග මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. 

50% කට වැඩි කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකාවට හිමි මෙරට පර්යන්ත මෙහෙයුම් කරන පුද්ගලික සමාගමවන්නේ SAGT සමාගමයි. 1999 වර්ෂයේ දී ආරම්භ කළ එම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, ඒ.පී.එම්. ටර්මිනල්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ Peony investments (subsidiary of Evergreen Marine Corporation) සමාගම් ඒකාබද්ධව මෙහෙයවයි. 

එම සමාගමේ පර්යන්තය පැයක දී මෙහෙයුම් කරන සමස්ත බහළුම් ප්‍රමාණය 113කි. එක් ක්‍රේන් යන්ත්‍රයකින් බහාළුම් 34ක් මෙහෙයවීමට ද එම පර්යන්තය සමත්ව තිබේ. එම සමාගමේ ප්‍රධාන වෙළෙඳ නිලධාරී ටෙඩ් මුත්තයියා මහතා පැවසූයේ තම සමාගම ලැබූ ජයග්‍රහණය කොළඹ වරාය හා සම්බන්ධ පාර්ශව ගණනාවක ඒකාබද්ධ ප්‍රයත්නයක් නියා ලද ඉහළ ඵලදායීතා ජයග්‍රහණයක් වන බවයි. “අපි ලබා ගෙන තියෙන්නේ වසර ගණනාවක්  තිස්සේ ඉලක්ක කළ ඉහළ කාර්යක්ෂමතා ජයග්‍රහණයක්. එහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියාමනය සහ භාරකාරිත්වය යටතේ සාර්ථක රාමුවක ක්‍රියාත්මකවීම නිසා මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට හැකි වුණා. පක්ෂපාතී ව සහ මනා කැපවීමකින් අපේ කණ්ඩායම ක්‍රියාත්මක වීම ද මේ ජයග්‍රහණයේ රහසක්....” යනුවෙන් ද ටෙඩ් මුත්තයියා මහතා පැවසී ය.

Rate this item
(0 votes)