May 04, 2024

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 43.7 ක් 

මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 43.7ක මූල්‍ය ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර ලබාදීමට අදාළ ගිවිසුම් 03 ක් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම් තුනක් අසත්සන් කිරීම ඊයේ (16) සිදු කර ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවන් මිමිකා (Neven Mimica) මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිවිසුම් අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමි දිස්ත්‍රික්කයන්හි ඒකබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහාය වැඩසටහනට අදාළ ගිවිසුමක්, අත්සන් කෙරුණු අතර ඒ සඳහා ලබා දෙන මුදල යුරෝ මිලියන 30කි.  

ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්‍රිත සහාය සඳහා වූ වැඩසටහන වෙනුවෙන් තවත් යුරෝ මිලියන 08ක මුදල් ලබා දීමට අදාළ ගිවිසුමක් ද මෙහි දී අත්සන් තැබිණි.

ඊට අමතර ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත යුරෝ මිලියන 5.7 ක් වටිනා තාක්ෂණික සහාය ලබාදීමට අදාළ තවත් ගිවිසුමක් ද අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වල වඩාත් පසුගාමී දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධනය සඳහා වූ සහාය වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්‍රිත කටයුතු සඳහා සහාය වැඩසටහනට අදාළ  මූල්‍යය ගිවිසුම් දෙක වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා අත්සන් තැබු අතර, යුරෝපා සංගමය වෙනුවෙන් අන්තර් ජාතික සහයෝගිතාවය සහ සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා අත්සන් තබන ලදී. තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සඳහා ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ (AFD) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ නිකොලස් ෆොනේජි (Nicolas Fornage) මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් අත්සන් තබන ලදී.

යුරෝපා සංගමයේ සහය  නැවත මෙරටට ලැබීම සතුටට කරුණුක් බවත් ආර්ථික වශයෙන්  වගේ ම තාක්ෂණික වශයෙන් ලබා දෙන සහය අතිශය අගය කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන විශ්වාසනීය සහකරුවකුවීමට තම සංගමය සූදානම් බව යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළේ ය.

ගෙවීගිය වසර 20ක පමණ කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන්, සුනාමියෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් යුරෝපා සංගය  උපකාර කළ බවත් 2014 – 2020 කාලය තුළ එම සංගමය ලබා දෙන සහය දෙගුණ කිරීමට තීරණය කර තිබෙන බවත් මිමිකා මහතා සඳහන් කර ඇත.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් - මරීන් ස්චුහ් (Jean-Marin Schuh) මහතා ද, යුරෝපා සංගමයේ වැඩබලන තානාපති, පෝල් ගොඩ්ෆ්‍රී (Paul Godfrey) මැතිතුමා ඇතුළු යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නිලධාරී පිරිසක් සහභාගී වී ඇත.

Rate this item
(0 votes)