May 06, 2024

තීරුබදු රහිත ව ගෙන්වන බාස්මතී සතොසෙන් 

February 13, 2016

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර ක්‍රියාත්මකවන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට තීරුබදු රහිත ව ආනයනය කරනු ලබන උසස් තත්වයේ බාස්මතී සහල් සතොස ආයතනය හරහා පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාකිස්ථාන මහකොමසාරිස් සාර්ෆස් අහමඩ් කාන් සිප්රා මහතා ( Sarfarz Ahamed Khan Sipra) මුණ ගැසුණු අවස්ථාවේ දී ය.

සතොස මගින් මෙලෙස බාස්මතී සහල් සෘජුවම පාකිස්ථානයෙන් ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට මෙම උසස් තත්වයෙන් යුත් බාස්මතී සහල් අඩුමිලට සතොස ආයතනයෙන් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙන බව එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා පැවසී ය. 

2002 වසරේ සිට ශ්‍රී ලංකාව - පාකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක අතර එම ගිවිසුම යටතේ භාණ්ඩ 4000 ක් සඳහා දෙරට අතර තීරුබදු රහිත ව ආනයනය - අපනයනය කිරීමට පහසුකම් සපයා දී ඇත. 

2011 අගෝස්තු මස පැවති ශ්‍රී ලංකා - පකිස්ථාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 04 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට වසරකට පාකිස්ථානයෙන් බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000 ක් තීරුබදු රහිත ව ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් අතර මෙතෙක් එම තීරුබදු රහිත බාස්මතී සහල් ආනයනය පුද්ගලික අංශය විසින් පමණක් සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ශික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 05 ක් පමණවන අතර මීට අමතර ව බාස්මතී වැනි විශේෂ සහල් වර්ග මෙට්‍රික් ටොන් 20,000 ක් වාර්ශික ව ආනයනය කරයි.  2014 වර්ශයේ දී ශ්‍රී ලංකාවේ වාර්ශික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.7වන අතර එය 2011 දී මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් විය. වාර්ශික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 90 – 100 අතර අගයක් ගනී.

 

Rate this item
(0 votes)