April 29, 2024

ඉහළ විදේශ විනිමයක් රබර්වලින්

රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ අගය එකතු කිරීමක් වෙනුවෙන්වන පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් ඉපැයීමට හැකියාව ඇති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සහ අපනයනකරුවන්ගේ හමුවක් අමතමිනි. 

මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සැකසෙන ක්‍රියාකාරී සැලැස්මට අදාල නිෂ්පාදකයන් හා අපනයනකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම එම හමුවේ අරමුණ වී තිබේ.

පසුගිය සමය පුරා වැඩි වැඩියෙන් රබර් අපනයනය කළත් ඊට සාපේක්ෂ ව ආදායම් වර්ධනයක් නොපෙනීමට හේතුව අගය වැඩිකළ නිෂ්පාදන වෙත අවතීර්ණ නොවීමේ ප්‍රතිඵලයක් බව ද අමාත්‍ය සේනසිංහ මහතා එහි දී පෙන්වා දුන්නේ ය.

රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ඉහළ අගය එකතු කිරීම වෙනුවෙන්වන පර්යේෂණ හා සංවර්ධන අංශයට වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීම මගින් වැඩි විදේශ විනිමයක් ඉපැයීමට අවස්ථාව හිමිවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ය.

චීනයට රබර් අපනයනය කිරීමේ දී අය කරන 15% ක බද්ද හේතුවෙන් මෙරට අපනයන කර්මාන්තයට අවාසිදායක තත්ත්වයක් පවතින බව එහි දී අපනයනකරුවන් විසින් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

චීනයට රබර් අපනයනය කරන සෙසු රටවල්වන වියට්නාමය, තායිලන්තය හා ඉන්දුනීසියාවේ එවැනි බදු පැනවීමක් නොකරන බැවින් එම රටවල් හා තරගකාරීව අපනයනය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව ඔවුන් තවදුරටත් කියා සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2016 10:13