April 28, 2024

සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන මූල්‍ය ආධාර ඉහළ දමයි 

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන මූල්‍යාධාර ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනක මූල්‍යාධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟත්වය පළ කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ Won-Mok Choi මහතා අතර පැවැති හමුවක දී මෙම එකඟතාව පළ වී ඇත.

මෙම හමුව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් විය.

අදාළ සහන ණය මෙරට ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය වෙනුවෙන් ලබා දීමයට නියමිත ය. ඒ අනුව මහා මාර්ග, පානීය ජල ව්‍යාපෘති, වාරි මාර්ග සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මෙම සහන ණය ලබා දෙනු ඇත.

 1960 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව මෙරට සංවර්ධනය වෙනුවෙන් විවිධ ණය පහසුකම් ලබා දී තිබේ. එම බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා මෙතෙක් ලබා දෙනු ලබන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 500ත්, 700ත් අතර ආධාර මුදලකි. එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සංවර්ධනයට හිතකර වටපිටාව සළකා බලා එම ආධාර ඉහළ නැවීමට තීරණය කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)