May 06, 2024

ලයිලා සහ සුරුක්කු දැල් තහනම් 

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා භාවිත කරන ලයිලා සහ සුරුක්කු දැල් යොදා සිදුකරන මත්ස්‍ය කර්මාන්තය වහාම තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ය. 

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා,

"කිමිදුම්කරුවන් යොදා මසුන් ඇල්ලීමත් මේ පන්න ක්‍රමයට අයත්වන නිසා එය ද තහනම් කරනවා. යම් අවස්ථාවක මෙම ක්‍රම මගින් ධීවර කර්මාන්තයේ යෙදුණහොත් එකී ආම්පන්න හා බෝට්ටු රාජසන්තක කරනවා.

ඒ වගේම, ඩයිනමයිට් යොදා මසුන් මරන අයට විරුද්ධව, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා. ඩයිනමයිට් යොදා මරන මාළු විකුණන අයත්, ප්‍රවාහනය කරන අයත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරීන්ට හා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පන්න ක්‍රමය වෙනුවට විකල්ප පන්න ක්‍රම හඳුන්වා දීමටත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමත් ලබා දෙනවා. රටක් විදියට නීතිය ක්‍රියාත්මක කරන අතර, එක් පාර්ශ්වයකට, එක් ප්‍රදේශයකට සහ දේශපාලනඥයකුගේ උවමනාව මත ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නෑ.

ඒ නිසා නීති විරෝධීව කටයුතු සිදුකරන අය අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිමය කටයුතුවල දී අදාළ බලධාරීන්ට කිසිඳු දේශපාලන බලපෑමකට යටත් නොවී, ඒ පිළිබඳ ස්වාධීන ව කටයුතු සිදු කරන ලෙසත් එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එසේ යම් බලපෑමක් කළොත් ඒ පිළිබඳ වහාම මා දැනුවත් කරන ලෙසත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)