May 06, 2024

NRFC සහ RFC ගිණුම් විනිමය පාලනයෙන් නිදහස්‌

අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC)වල මුදල් නැවත ගැනීමේ දී පැවැති විනිමය බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (04) කොළඹ මහ බැංකු මූලස්‌ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව එම ගිණුම්වල පවතින මුදල් නැවත ගැනීමේ දී මින් ඉදිරියට බැංකු විසින් කිසිදු ප්‍රශ්න කිරීමක්‌ නොකරන බව ද මේ තීරණය මේ සතියේ අග සිට ක්‍රියාත්මක කරන බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මේ සඳහා සියලු වාණිජ බැංකුවලට අදාළ උපදෙස්‌ ලබා දෙමින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව ද මින් ඉදිරියට එම ගිණුම්වල මුදල් ඕනෑම කටයුත්තකට බාධාවකින් තොරව යොදාගත හැකි බව ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

එහි දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම ගිණුම්වල මුදල් දේශීය වශයෙන් ලබාගත හැක්‌කේ රුපියල්වලින් පමණක්‌ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)