May 02, 2024

ආර්ථික මධ්‍යස්ථානවලට ශීත කාමර

November 29, 2015

මෙවර අයවැයෙන් ගොවියාගේ ඵලදාව කල්තබා ගැනිම සදහා ආර්ථික මධ්‍යස්ථාන 5 ක් ආශ්‍රිතව ශීත කාමර ඉදි කිරීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති බව ග්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වල කළමණාකාරුවන්ගේ හමුවේදීය. 

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා “මෙවර අය වැයේදී ආර්ථික මධ්‍යස්ථාන 5 ක් ආශ්‍රිතව ශීත කාමර ඉදි කරන්න මුදල් වෙන් කරන්න කියල මිල තීන්දු කිරිමේ කමිටුවට අප යෝජනා කලා. ඒ අනුව මෙවර අයවැ‍යෙන්  ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර වව්නියාවේ නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 200 ක්ද ලැබි තිබෙනවා. මෙයින් අපි බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයාට හොද එළවළු ටිකක්, පළතුරු ටිකක් ලබා ගැනීමට අවස්ථාව උදාකර දීමට.“ යැයි ද පැවසීය. 

මෙම හමුවේදී එක් එක් ආර්ථික මධ්‍යස්ථාන තුල පැන නැගී ඇති ගැටළු, අඩුපාඩු, සංවර්ධනය කල යුතු භෞතික සම්පත් ආදිය පිළිබදව පැමිණ සිටි කළමනාකරුවන්ගෙන් විමසා සිටි අතරම, කළමනාකරුවන්ගේ පරිපාලන දුර්වලතාද ඔවුන් වෙත පෙන්වා දෙන ලදි. 

එයට අමතරව මෙම වසරේදී ආර්ථික මධ්‍යස්ථාන වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සංවර්ධනය කර ඇති ‍භෞතික සම්පත් වල ප්‍රගතිය විමසීමක් සිදු කළ අතර, එම සියළු සංවර්ධනයන් දෙසැම්බර් මස අවසාන වන විට නිම කල යුතු බවත් අවධාරණය කරන ලදී.

Rate this item
(0 votes)