May 08, 2024

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවක සංවර්ධනයට නව වැඩසටහනක්

September 27, 2015

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් සමාගමේ වෘත්තිකයන්ගේ හැකියාවන් දිරිමත් කර ඉදිරියටත් වර්ධනය කිරීම සඳහා  නව වැඩසටහනක් සකස් කර තිබේ. 

මෙම අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන (CPD) යටතේ ඔවුන්ගේ පශ්චාත් උපාධි උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හැදැරීම සඳහා අත්වැලක් ලබාදීම සිදුකරනු ලබයි.  

මෙම වැඩසටහනේ අරමුණ ඉහළ කුසලතා සපිරි වෘත්තීය ශ්‍රම බලකායක් බිහිකර ගැනීම වන අතර එමගින් ආයතනයේ ප්‍රගතියට ස්වයං- සංවර්ධන ධනාත්මක දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගැනීමයි. එසේම මෙය ඉතා තරඟකාරී සහ ක්‍රියාශීලී ගෝලීය ගුවන් ක්ෂේත්‍රයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා වැදගත් වනු ඇත. 

ගුවන් සමාගමේ සේවකයන් සය දෙනෙකු මෙම අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන සඳහා තෝරාගෙන ඇති අතර එලෙස තෝරාගත් සේවකයන් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ සේවක සංවර්ධනය ගුවන් සමාගමේ මෙහෙයුම් ඉලක්කයේ අවශ්‍ය කොටසක් වන බවයි. එසේම මේ තුළින් සේවකයින්ගේ කුසලතා වර්ධනය කරගැනීම සහ විශිෂ්ඨ වෘත්තිකයන් දක්වා වර්ධනය කිරීමට කදිම පසුතලයක් සපයාදීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්හ. 

එසේම මේ වන විට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තිකයන්ගේ හිඟයක් පවතින බැවින් මෙය අනාගතය සඳහා සිදුකරන ලද ආයෝජනයක් බව ද ඒ මහතා සඳහන් කළේය. 

තවද මෙම අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන (CPD) මගින් සේවකයින්ට පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතන තුළින් තම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා කදිම අවස්ථාවක් වනු ඇත. එහිදී සාර්ථක අපේක්ෂකයින් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන ප්‍රතිපත්ති අනුව පාඨමාලා ගාස්තුවෙන් 75% ක් ගුවන් අරමුදලින් ගෙවීමටද ගුවන් සමාගම කටයුතු කරනු ලැබේ. 

 

Rate this item
(0 votes)