May 08, 2024

තේ කම්හල් නවීකරණයට සහන ණය මුදලක් 

තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා සහන ණය මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව පසුගියදා තීරණය කර තිබේ. 

ඒ අනුව තේ කර්මාන්ත ශාලා නවීකරණයට සහනදායී කෙටිකාලීන ණය මුදලක් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. මුදල් මණ්ඩලය විසින් ද අනුමත කර ඇති මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස මහ බැංකුව සියලුම බැංකු වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි තේ කර්මාන්ත ශාලාවකට එක් මාසයක කාරක ප්‍රාග්ධනයට සමාන මුදලක් අවුරුදු 2-5 අතර කාලයකදී ආපසු ගෙවිය හැකි ණය මුදලක් ලෙස ලබා දීමට කටයුතු කෙරේ. මේ සඳහා අය කරනු ලබන පොළී මුදලෙන් 6%ක් තේ කර්මාන්ත ශාලා හිමියන්ගෙන් අය කර ගනු ලබන අතර ඉතිරි 2% රජය විසින් දරනු ලැබේ. 

දිවයිනේ තේ කර්මාන්ත ශාලා 700ක් පමණ තිබෙන අතර මේ සඳහා දැනට අයදුම්පත්‍ර 200ක් පමණ ලැබී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර වික්‍රමසිංහ මහතා පවසයි. 

ලෝක වෙළඳපොළේ තේ මිල ඉහළ යමින් පවතින අවස්ථාවක තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම නව වැඩපිළිවෙළ යටතේ උසස් ගණයේ තේ නිෂ්පාදනය කිරීමට අපට අවස්ථාව ලැබෙන අතරම ලෝක වෙළඳපොළේ දී ලංකාවේ තේ වලට ඉහළ මිලක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කරන තේ කර්මාන්ත ශාලා හිමියන් සිය අයදුම්පත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කළ යුතු බව රජය අවධාරණය කරයි.

 

Rate this item
(0 votes)