May 08, 2024

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උත්සවයකදී කෑම ගත් අය අසනීප වූ හේතුව හෙළිවෙයි 

පසුගිය ජුනි 12 වැනිදා පැවති උත්සවයකදී ආහාර ගැනීමෙන් අනතුරුව පිරිසක් ආසාත්මිකතාවට පත් වීමේ සිද්ධිය වාර්තාවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ හෝටල් කළමනාකාරීත්වය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත් බව කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පවසයි. 

පසුගිය 12 වැනිදා කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයකදී ආහාර ගැනීමෙන් අනතුරුව පිරිසක් ආසාත්මිකතාවකට පත් වීමේ සිද්ධියට අදාළව එම හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය එදින භාවිතයට ගත් ආහාරපාන වර්ග 67ක සාම්පල කොටස් විශේෂ විශ්ලේෂණයක් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ස්වාධීන රසායනාගරයකට යොමු කර ඇත.

රසායනාගාර පරීක්ෂණයෙන් අනතුරුව පසුගිය 22 වැනිදා ඒ සම්බන්ධ වාර්තාව අදාළ හෝලයට ලැබී ඇති වාර්තාවට අනුව හෙළි වී ඇත්තේ, එදින එම උත්සවයට පිළිගැන් වූ බටර් මෙම ආසාත්මිකතාවට හේතුව වන්නට ඇති බව යි.

ඒ අනුව බටර් තොගයේ සැපයුම්කරු සහ නිෂ්පාදකයින් සම්බන්ධයෙන් වාහා ම ක්‍රියාත්මක වන පරිදි විමර්ශනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද එම හෝටලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම හෝටලය සිය පාරිභෝගිකයින් වෙත අවධාරණය කර සිටින්නේ, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට වග බලා ගන්නා බව ය.

ISO 14001 සහ ISO 2000, OHSAS 18001 ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය දිනකට ආහාරපාන වර්ග 5,500 ක් පමණ පාරිභෝගිකයින් වෙත නිකුත් කරන අතර ඒවා සෞඛ්‍යාරක්ෂිත බවින් මෙන් ම පාරිසරික තත්ත්වයන්ට අනූකූලව නිෂ්පාදනය කරන බවට එම හෝටලය වැඩිදුරටත් සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී සිටී.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග සිය හෝටලයේ ප්‍රමිති තහවුරු කිරීම සඳහා නැවත වරක් සියලු ක්‍රියාකාරීත්වයන් සහ පිළිවෙත් යළි තක්සේරු කිරීමට ද තීරණය කර තිබේ.

ජුනි 12 වැනි දා හෝටලයේ පැවති උත්සවයේදී අපහසුතාවයට පත් වූ එම පිරිසට එම හෝටල් කළමනාකරීත්වය තවදුරටත් සිය දැඩි කණස්සල්ල පළ කර සිටී.

Rate this item
(0 votes)