April 26, 2024

අර්තාපල්, ලොකු ළූණු හා මිරිස්  ආනයනයට සීමා

අර්තාපල්, ලොකු ළූණු හා වියළි මිරිස් ආනයනය සඳහා යන වියදම අවම කරමින් දේශීය කෘෂි අස්වැන්න වර්ධනය කිරීමේ අරමුණින් මේ වනවිට පියවර රැසක් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පිටරටට ඇදී යන විශාල විදේශ විනිමය ප‍්‍රමාණය අවම කර ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය නංවාලීමට එම මුදල් අයෝජනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණ වේ.

මේ යටතේ අර්තාපල්, ලොකු ළූණු, මිරිස් යන බෝග ඉතා සාර්ථකව වගා කිරීමට පියවර ගෙන තිබේ. අර්තාපල් වගාව සඳහා සුදුසු ප‍්‍රදේශ ලෙස නුවරඑළිය හා බදුල්ල දිස්ති‍්‍රක්ක හඳුනාගත්තද පවතින භූ විෂමතාවන් හේතුවෙන් අර්තාපල් වගාවට යොදා ගත හැකි බිම් ප‍්‍රමාණය සීමිතය. ඉඩම් සීමාකාරී සාධකයක් වන නිසා දේශීය අවශ්‍යතාව සඳහා අවශ්‍ය අර්තාපල් ප‍්‍රමාණය සම්පූර්ණයෙන් ම නිපදවීමට නොහැකි බැවින් කොටසක් ආනයනය කිරීමට සිදුවේ. 

ආනයනික අර්තාපල් ප‍්‍රමාණය අවම කිරීමට අලුත් ප‍්‍රදේශවල අර්තාපල් වගාව කිරීමට අත්හදා බැලීම් කරන අතර උතුරු පළාතේ සහ පුත්තලම දිස්ති‍්‍රක්කයේ නියමු ව්‍යාපෘතිත් මේ වනවිට කි‍්‍රයාත්මක කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)