May 05, 2024

පාරවල් හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගිවිසුම් 2ක්  

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම් 2ක් අත්සන් තබා ඇත.

මෙම වැඩසටහනෙ හි සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො. මිලියන 906ක් වන අතර ඉන් ඇ.ඩො. මිලියන 800ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අදියර 6කින් බහු මූල්‍යයන පහසුකම යටතේ ලබාදීමට එකඟතාව පළකර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ මුළු ආයෝජනය ඇ.ඩො. මිලියන 106 කි. දකුණු පළාත, සබරගමු පළාත හා කළුතර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, උතුරු මැද පළාත හා වයඹ පළාත යන පළාත්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 5ක් ඔස්සේ ජාතික මාර්ග, පළාත් මාර්ග, ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළුව ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම සමස්ත වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ. 

මෙහි පළමු අදියර ‍ලෙස ඇ.ඩො. මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා 2014 නොවැම්බර් 05 වන දින ගිවිසුම් අත්සන් තබන ලද අතර මෙම පළමු අදියර මඟින් දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතියේ පළමු කොටස ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය. 

දෙවන අදියර ලෙස ඇ.ඩො. මිලියන 107ක මුදලක් ලබාගැනීමට අපේක්ෂිත අතර මෙමඟින් සබරගමු පළාත හා කළුතර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, උතුරු මැද පළාත හා වයඔ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හතරෙ හි පළමු කොටස ප්‍රතිපාදන වෙන් කරනු ලබයි. 

මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් කටයුතු කරන අතර සමස්ත වැඩසටහන 2024 මාර්තු 30 වැනි දිනෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙනුත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙ හි දෙවැනි අදියර සඳහා වන ණය ගිවිසුම් දෙකක් සඳහා පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.

 

Rate this item
(0 votes)