May 05, 2024

ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් නව ශාකසාර නිෂ්පාදන 10ක් 

ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් නිෂ්පාදිත නව ශාකසාර නිෂ්පාදන 10ක් දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා එළිදැක්වීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (29) පෙරවරු 10.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ්‍ර යේදී සිදු කිරීමට නියමිතය. 

ආයුර්වේදය ඉන්දියානු මහද්වීපය මුල්කොට ගනිමින් ක්‍රියාත්මක අතර බටහිර වෛද්‍ය ක‍්‍රමය බටහිර හා බැඳී පවති. දීර්ඝ කාලයකට පසු අප රටේ බටහිර වෛද්‍ය ක‍්‍රමය හා ආයුර්වේදය යන වෛද්‍ය ක‍්‍රම දෙක මඟින් සිදුකරනු ලබන ජනතා සේවය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් වර්තමානයේ දී සිදු කරනු ලබයි. 

වර්තමානයේ නව ශාකසාර නිෂ්පාදනය සඳහා සමාජය තුළ විශාල උනන්දුවක් මෙන්ම ලැදියාවක් ද පවති. ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් ද මේවා කෙරෙහි වැඩි ඇල්මක් දක්වනවා පමණක් නොව සමහරෙක් එම ශාකසාර නිෂ්පාදන තම මව් රටවලට රැගෙනයාමට ද කැමැත්තක් දක්වති. 

දැනටමත් මාලදිවයින, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය ආදි රටවලට ආයුර්වේද නිෂ්පාදන අපනය කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට හිමි ව ඇති අතර ඉදිරියේ දී ද මෙය තවත් වර්ධනය කර ගැනීම ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. 

ඒ අනුව ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් නිෂ්පාදිත නිල්මා තෛලය, මධුකා කැස්ස පැණිය, ධාරණී, ප‍්‍රාණජීව තෛලය, මේදහරණී ක්වාථය, ත‍්‍රිඵලා පෙති, සංස්ථා රසම් තැම්බුම් හොදි, සංස්ථා කොමාරිකා ෂැම්පු, වෙනිවැල් බොඩි වොෂ්, ජීවනාලේප බාම් ආදී ශාකසාර නිෂ්පාදන සමූහය අප රටේ ජනතාව අතර ජනගත කිරීම කාගීල්ස් සමාගම හා එක්ව සිදු කරනු ඇත.

Rate this item
(0 votes)