May 06, 2024

පොලී අනුපාතිකය පහළට - බැංකු ණය ඉල්ලුමට පෙළඹවීමක්

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතිකය අඩු කිරීමත් සමඟ වෙළෙඳපොළ පොලී අනුපාතික අපේක්ෂිත පරිදි පහළ ගොස් ඇති බවත් අඩු පොළී අනුපාතික වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යෑම පෞද්ගලික අංශයේ බැංකු ණය ඉල්ලුම සඳහා පෙළඹවීමක් ඇති කර තිබෙන බවත් ශ්‍රීලංකා මහ බැංකුව පවසයි. 

ශ්‍රීලංකා මහ බැංකුව විසින් 2015 මැයි මස නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයේ මේ බව සඳහන් වේ. 

ඒ අනුව, පෞද්ගලික අංශය විසින් වාණිජ බැංකුවලින් ලබාගත් ණය 2015 මාර්තු මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය අගය මත සියයට 13.9කින් ඉහළ ගියේය. මාසය තුළ දී මේ වැඩිවීම නිරපේක්ෂ අගය අනුව රුපියල් බිලියන 41.4ක් වූ අතර, 2015 පළමු කාර්තුවේදී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයෙහි සමුච්චිත වැඩිවීම රුපියල් බිලියන 86.9ක් විය. 

වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණයට අනුව, ශක්තිමත් ලෙස ණය වර්ධනය වීස සඳහා කාර්මික හා සේවා අංශ සඳහා සපයන ලද ණය ප්‍රධාන වශයෙන් දායක විය. අඩු වෙළෙඳපොළ පොළී අනුපාතික හමුවේ ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාවට අනුබල සපයමින් ඉදිරි කාලයේ ද පෞද්ගලික අංශය සඳහා වන ණය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. 

පෞද්ගලික හා රාජ්‍ය අංශයට ලබා දුන් ණය ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස පුළුල් මුදල් සැපයුම (M2b) 2015 මාර්තු මාසයේදී ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.5කින් අපේක්ෂිත පරිදි වර්ධනය විය.  

 

Rate this item
(0 votes)