May 06, 2024

ගෝල්ඩන් කී සල්ලි සඳුදා සිට ලැබෙයි

මීළඟ නඩු දිනය වන තුරු නොසිට සඳුදා සිට වුවත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ සැලැස්‌මක්‌ ආණ්‌ඩුව සකස්‌ කර ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී “ නිවාඩ් කබ්රාල්ලා ගෝල්ඩන් කී කඩා වැට්‌ටුවා. මිලියන 26800 ක තැන්පත් වටිනාකම නිරාකරණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. ආර්ථික ඝාතකයන්ගේ වැඩ නිසා සෙලින්කෝ සමාගම කඩා වැටුණා. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට සියයට 41 ක්‌ දෙන්න කීවේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අධිපතිට ඕන ලෙස සමාගම් ටික දීලා ලබා ගන්න තිබූ මුදල් ටිකත් නැති කළා. මට කනගාටුයි වත්කම් ටික විකිණුවේ නැත්නම් සියයට 41 කට වඩා ගෙවන්න තිබුණ.

තැන්පත්කරුවන්ට මුදල් ගෙවන්න මූල්‍ය ප්‍රතිපාදන නෑ. අලුත් ආකාරයට මුදල් හොයා ගත හැකි ක්‍රම ඇති. වත්කම් මීට වඩා තිබෙනවා. මේ වත්කම් අත්පත් කරගෙන ගනුදෙනුකරුවන්ට මුදල් ගෙවනවා. නඩු 29 ක්‌ තිබෙනවා.” යනුවෙන්ද මුදල් ඇමතිවරයා පැවසීය.

මුදල් ගෙවන ආකාරය පිළිබඳව සඳහන් කරමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ “ රුපියල් ලක්‍ෂ විස්‌සක තැන්පත්කරුවන්ට මාසයක්‌ තුළදීත්, රුපියල් ලක්‍ෂ විස්‌සේ සිට රුපියල් කෝටිය දක්‌වා තැන්පත් කළ අයට මාස දෙකක්‌ තුළදීත්, රුපියල් කෝටියකට වඩා වැඩි තැන්පත්කරුවන්ට වසරක්‌ තුළදීත් ඔවුන්ගේ මුදල් ගෙවීමේ සැලැස්‌මක්‌ සකස්‌ කර තිබෙනවා. තැන්පත්කරුවන්ට අපේ ආණ්‌ඩුව විශ්වාස කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙනි.


Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 14:58