May 19, 2024

කොම්පඤ්ඤවීදියේ නිවාස ව්‍යාපෘතිය ඉදිරියට

ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.

ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා කීය.

Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 May 2015 11:13