May 06, 2024

ලෝක රූ රැජිණගේ සහභාගිත්වයෙන් “මිලියන එකක රුක් කථා“ අරඹයි 

February 22, 2015

සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැලදූ දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දියත් කෙරිණි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, රොටරි ශ්‍රී ලංකා සහ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකාව තුළ ගස් මිලියනයක් රෝපණය කිරීම, ගස් ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹවීම සඳහා මිනිසුන් හා ගස් අතර භාවාත්මක සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. 

“මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දේශීය වශයෙන් ජනතාව වෙත සමීප කරවීමට එක් එක් පුද්ගලයන්ට පෞද්ගලිකව ගස් හා සබැඳි භාවාත්මක අත්දැකීම් බෙදාගැනීමට ද අදහස් කරයි. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ ශාඛා 250 තුළ හා ATM යන්ත්‍ර 100 දැන්වීම් පළ කිරීමෙන් මිලියන 5ක පමණ සේවාදායකයන් වෙත මෙම සංකල්පය සමීප කරවීමට කටයුතු කරනු ලබයි. 

ශ්‍රී ලංකාවේ සංචරණ අත්දැකීම පිළිබඳව 2014 වසරේ සිදුකළ සමීක්ෂණ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ සංචාරකයන්ගෙන් සියයට 77ක් ඒ පිළිබඳව අතීශය සතුටට පත්වූ බවත් සියයට 22ක් තෘප්තිමත් බවත් අණාවරණය වී ඇත. 

මෙම අවස්ථාවට සහභාගී වූ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය මෙම සංකල්පය ලෝකයටම ගෙන යාමට උත්සහ කරන බවත් මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් පවසා සිටියාය. 

මෙහිදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ගේ සහභාගීත්වයෙන් “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ද (http://www.rotarytree.com/) අන්තර්ජාලයට මුදාහැරිණි. මිලියන එකක ගස් සිටුවීම සමාරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යංශ භූමියේ අඹ පැළයක් සිටුවීම ද ඔවුන් අතින් සිදු කෙරිණි. 

රෝලිනී ස්ට්රෝස් මෙනෙවියට සහ ජාත්‍යන්තර රොටරි උප සභාපති Celia Cruz De Giay මහත්මියට මෙම අවස්ථාවට සහභාගී වීමේ සිහිවටන ලෙස “Wild Flowers of Sri Lanka“ පොත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අතින් ප්‍රදානය කෙරිණි. 

ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික් 3220 වැඩසටහනේ දිස්ත්‍රික් ආණ්ඩුකාර ගෞරි රාජන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩල සභාපති රොහාන්ත අතුකෝරාල යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)