May 03, 2024

"කොමිසම අහෝසි කරන්න ලිපියකින් බෑ" - ජනපති ලේකම්ගේ ලිපියට කැබිනට් මණ්ඩලයේත් විරෝධය Featured

December 08, 2020

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යැවූ ලිපිය පිළිබඳ ඊයේ (07) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරු ගණනාවක් අදහස් දැක්වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද, එය ඉටු නොවේනම් ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාල කොමිෂන් සභාව අහෝසි කරනවානම් අහෝසි කළ යුත්තේ ලිපියකින් නොවන බවත් එය පනතක් මගින් අහෝසි කළ යුතු බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා එනිසා එය අහෝසි කිරීමක් සිදුවී නොමැති බවද කියා සිටියේය.

නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වීමක් පමණක් සිදු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අරමුණ ඉෂ්ට වෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් එය අහෝසි කිරීමට නම් ලිපියක් බැරි බවත් එය කල හැක්කේ පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් පමණක් බවත්ය.

වාසුගේ විරෝධය

මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නොසතුට පළකර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.

ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.

මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එකේ ලිපියෙන් දන්වා තිබේ.

Last modified on Tuesday, 08 December 2020 12:06