May 17, 2024

තැපැල් ඡන්දය භාවිතය හොඳ මට්ටමක! බහුතරය කාටද? Featured

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව පැවැති බවත් ඡන්දය භාවිතා කිරීම හොඳ මට්ටමක පැවැති  බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

මොණරාගල, ගාල්ල වැනි ස්ථාන කිහිපයක පමණක් සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවත් ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූප ගත කිරීම, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද ලකුණු සහිත කාඩ් බෙදා හැරීම වැනි සිද්ධීන් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන සෞඛ්‍ය නිර්දේශ අනුකූලව සකස් කර තිබූ බවත් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය නිලධාරීන් නොසිටි බවට වාර්තා වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද පොල නියෝජිතයින්ගේ පැමිණීම සමස්ථයක් ලෙස සියයට 75ක් ප්‍රතිශයක් ලෙස පෙන්නුම් කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පොල නියෝජිතයින්ගේ පැමිණීම සියයට 51ක් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ පැමිණීම සියයට 32ක් ලෙස වාර්තා වූ බවට නිරීක්ෂණය වූ බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම පසුගිය 13වනදා ආරම්භ විය.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පමණක් එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 14 සහ 15 යන දෙදින තුළ සිදු කෙරිණි.

එමෙන්ම ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දදායකයින්ට ඊයේ (16) සහ අද( 17) යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. 

මේවන විට නිල නොවන මට්ටමනින් වාර්තා වන ආකාරයට තැපැල් ඡන්දය භාවිතා කිරීම සියයට 85 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් 19 අවදානම මැද මේ ආකාරයට ඡන්දය භාවිතා කිරීමට තැපැල් ඡන්දදායකයින් පෙළඹී සිටීමද ඉතා වැදගත් කාරණයක් වේ.

මේ අතර මේවන තෙක් භාවිතා කර ඇති තැපැල් ඡන්ද අනුව සියයට 75ක බහුතර ප්‍රතිශතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර දෙවැනි ස්ථානයට සමගි ජනබලවේගයට ඡන්දය භාවිතා කර ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කළේය.