May 02, 2024

මැතිසබේ විසුරුවාහැරීමත් සමඟ එජාපය සහ පොහොට්ටුව දැඩි අර්බුදයක Featured

වත්මන් පාර්ලිමේන්තුන විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙම දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

ඒ මහ මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම හේතුවෙනි. එක් එක් දිස්ත්‍රික්කවලින් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට අමතරව තවත් බොහෝ දෙනකු අපේක්ෂකත්වය බලාපොරොත්තු වීමත් සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර ද අපේක්ෂකයන් ගණන බෙදී යා යුතු වීමත් මෙම අර්බුදයට හේතුවී තිබේ. 

මෙම අර්බුදය වඩාත් උත්සන්න වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය. ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ අනුව සන්ධානයේ හවුල්කාර පක්ෂ මෙන්ම බුද්ධිමත්, උගතුන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ කණ්ඩායම්ද සිය අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවත් ඒ සඳහා පොදුජන සන්ධානයේ ප්‍රබල දේශපාලනඥයින්ට දැඩි ඉල්ලීම් ලැබෙමින් පවතින බවත් වාර්තා වේ.

මෙම තත්ත්වය නිසා ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලැබෙනු ඇතැයි දැනට මාධ්‍ය තුළ නම් සඳහන්ව ඇති කිහිපදෙනකුටම නාමයෝජනා නොලැබෙනු ඇතැයිද දැනගන්නට තිබේ. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන අවස්ථාවේ දිස්ත්‍රික්කවල සිටි ප්‍රධාන චරිත රැසකට නාම යෝජනා නොලැබීමේ තත්ත්වයක් උද්ගත වීමත් සමග මෙම අර්බුදය දුර දිග ගොස් ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් සමගි ජන බලවේගය යටතේ මැතිවරණයට තරග කරයි. 

මීට අමතරව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ගොඩනැගෙන සන්ධානයෙන්ද නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින රනිල් පාර්ශ්වයේ හා සජිත් පාර්ශ්වයේ අතර මතභේදාත්මක ගැටුම් ඇති වී තිබෙන බව වාර්තා වේ. නායකයන් දෙපළ තමන්ට හිතවත් අයට නාමයෝජන ලබාදීමට ගන්නා උත්සාහය නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇත.

ප්‍රධාන පක්ෂ දෙකේම මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක පදනමින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ට අනිවාර්යයෙන්ම නාම යෝජනා ලබා දිය යුතු වේ. ඊට අමතරව දෙපාර්ශ්වයෙන්ම පිල් මාරු කළ මන්ත්‍රීවරුන්ටද අපේක්ෂකත්වය ලබාදීමත් සමග අලුතින් අපේක්ෂකත්වය පුරප්පාඩු ඇත්තේ සීමිත සංඛ්‍යාවක් නිසා මෙම ගැටලුවට මුහුණ පා ඇත.

මේ තත්ත්වය තුළ ප්‍රධාන සන්ධාන දෙකම, හවුල්කාර පක්ෂවලට ද අපේක්ෂකයන් යම් ප්‍රමාණයක් වෙන්කළ යුතු බැවින් නාම යෝජනා ලැයිස්තු සකස් කිරීම දැඩි අසීරු තත්වයකට පත්ව ඇත. 

Last modified on Tuesday, 03 March 2020 11:37