April 26, 2024

මට ලැබෙන පින නවත්වන්න කාටවත් බෑ - රාජිත Featured

September 10, 2019

මරණ තර්ජන තිබුණද මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ආරම්භ කිරීමට තමන්ට හැකි වු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල දිස්ත‍්‍රික් ඖෂධ ව්‍යයසායකයින්ගේ සංගමයේ තෙවන වාර්ෂික මහ සභා උත්සවය ගාල්ල ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලයේදී අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි. 

නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගැනීමේ අවස්ථාවේදී පසුගිය වසරේ නිලධාරී මණ්ඩලයම නිතරගයෙන් මෙවරත් තේරී පත් වීම විශේෂත්වයක් විය. 

එහිදී පසුගිය වසරේ ඔවුන්ගේ සංගමයේ කටයුතු ඇගයීම සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇගයීමද සිදුවිය.

ඒ අවස්ථාවේ දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරයෙක් ලෙස නොව පුද්ගලයෙක් ලෙස ගත් කල තමාගේ ජීවිතයම අභියෝගයක් වූ බවයි. 

මේ වන විටත් ශරීරය තුළ බෝම්බ කෑලි 4 ක් සහිතව ද ශක්තිමත් ව තමන් පෙරට යන බවත් මේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් පසු තමන් හමුවේ වූ විශාලම අභියෝගය වූයේ ඖෂධ මිල අඩු කිරීම බවත් අමාත්‍යවරයා පවසයි. 

මහාචාර්ය සේනක බිබිලේගෙන් ශිල්ප ගන්නටත්, ශිල්ප වලින් ඔබ්බට ගොස් ඔහුගේ ගමන් මගේ සගයෙකු වන්නටත්, එතුමන්ව නිහඩ කළද එතුමන්ගේ හඩ නිහඩ වන්නට නොදී එය යථාර්තයක් බවට පත්කරමින් ඖෂධ ප‍්‍රතිපත්තිය එළි දකින විට බිබිලේ මැතිණිය පවසා සිටියේ ‘‘රාජිත ඔබ මගේ ස්වාමියා නැවත ඉපැද්දුවා’’ යන වදන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

‘‘මේ වැඩේට අතගහන්න එපා’’ කියූ පිරිස අතරින් තම්නට එල්ල විය හැකි ජීවිත තර්ජන ගැන සලකා අවංකව කියූ අතලොස්සක් ද ඖෂධ ප‍්‍රතිපත්තිය ගෙනඒම වැලැක්වීමට අවශ්‍ය වූ කඩාකප්පල්කාරී වැඩි පිරිසක් ද විය. 

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ආරම්භයත් සමඟ කඩිගුලක් සේ ඇවිස්සුනු මේ පිරිස මට පහර පිට පහර එල්ල කරන්නට වු බවත් නමුත් තමන් මෙයට ප‍්‍රබලම අවිආයුධ වලින් සන්නද්ධ වු බවත් එම අවි ආයුද වන්නේ එම කරුණු සඳහා අවශ්‍ය දත්ත සියල්ල තමන් සතුව තබාගෙන සිටි බවද ඔහු පැවසීය. 

එහිදා වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"ඒ අවස්ථාවේ තවදුරටත් මට අභියෝග කිරීමට නොහැකි වූ ඔවුන්ට ශ‍්‍රී ලංකාවේ ඖෂධ ප‍්‍රතිපත්තිය ඉදිරියේ දණ නමන්නට වුනා. ඉන් අනතුරුව ඔවුන්ට කළහැකි කාර්යය වූයේ ඖෂධ හිඟයක් මවා පෑමයි.  එහි දී වෙළෙඳපොල ඒකාධිකාරය බිඳහෙලමින් ගුණාත්මක ඖෂධ වලට මෙරට වෙළෙඳපොල විවෘත කරන්නට මට හැකි වුනා. මේ වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරගෙන යන ගමනේදී මට එරෙහිව අවි අමෝරාගෙන නැගී සිටි පිරිස අතරේ මා වෙනුවෙන් කථා කරමින් මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න උදව්කළ යොවුන් ව්‍යාපාරිකයින් පිරිසක් සිටියා.  ඔවුන් තමයි සමස්ත ලංකා ඖෂධ ව්‍යාවසායකින්ගේ සංගමය. ඒ නිසා ඔබලා එදා මට කළ උපකාරය මා සිහිපත් කරන්නේ ද ඉතා කෘතවේදී ලෙසනි.  ඖෂධ ඒකාධිකාරය බිඳහෙලමින් සාමාන්‍ය මිනිසුන්ගේ නිදහස් සෞඛ්‍ය රැකගන්නට විද්‍යාත්මක හා යථාර්ථවාදී ක‍්‍රමවේදයකට මේ සියල්ල කළමණාකරනය කරන්නට මට හැකි වුනා.  මුලින්ම ඖෂධ 48 ක මිල අඩු කළා. හැමෝම කිවුවේ දැන් ඉතින් මේ වැඩේ ඉවරයි කියලා. නමුත් විශේෂඥ වෛද්‍ය කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති කළ පර්යේෂණ වලින් තහවුරු වූයේ ඖෂධ 48 ක මිල අඩු කිරීමෙන් පසු ගුණාත්මක ඖෂධ භාවිතය නොසිතූ ලෙස ඉහළ ගිය බවයි. විවිධ ඖෂධ 7% 8% 10% මට්ටමින් වැඩිවුනා.  සියල්ල යථාර්තවාදී ලෙස විසඳුනා. සියලූදෙනාටම අසාධාරණයක්නොවන ලෙසටද, ව්‍යවසායකයන් හා වෙළෙඳ පොල කඩා නොවැටෙන ලෙසටද මේ සියල්ල කළමණාකරනය කරන්නට මට හැකිවුනා.  ඖෂධ 48 ක මිල අඩු කිරීම නිසා පාරිභෝගික ජනතාවට වසරක් තුළ අත්වූ ලාභය වන්නේ රු.මි. 4000 කි. මේ තුළින් රෝග නිවාරණයට සහ රෝග පාලනයට විශේෂම පෙළඹවීමක් ඇතිවුනා. ශ‍්‍රී ලංකාවේ ආයු අපේක්‍ෂාව වන අවුරුදු 78 ට මේ අනුව ඉදිරියේදී 80, 82 දක්වා වර්ධනය වීමට නියමිතයි. දෙවන වටයේ ඖෂධ 25 ක මිල නියාමනය කරනු ලැබුවා. රු. 280,000 ක් වූ පිළිකා ඖෂධය රු. 150,000 ක් දක්වා අඩු කරන්නට මට හැකි වුනා. ඔබ දන්නවාද මේ ඖෂධ කුමක්ද කියා. මේ තමයි අසරණ පිළිකාරෝගීන්ට ලබාදෙන විශේෂ ඖෂධය."

"මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වෙනකොට පිළිකා රෝගියෙකුගේ ජීවිත අපේක්‍ෂාව තක්සේරු කරලා තිබුනේ රු. ලක්‍ෂ 15 කට. මිනිස් ජීවිතයකට මිලක් දෙන්න පුළුවන්ද? කාලයක් තීරණය කරන්න පුළුවන්ද? එහෙම කරන්න නම් මම වගේ මිනිහෙක් මේ සෞඛ්‍ය අමාත්‍යංශ පුටුවේ වාඩිවෙලා ඉඳලා මොකටද? ඒ නිසා මම තීරණය කළා පිළිකා රෝගීන්ට ජීවිත කාලයටම නොමිලේ ප‍්‍රතිකාර කරන්න.  එදා ලක්‍ෂ 15 න් පස්සේ ඔවුන්ට දුන්නේ වේදනා නාශක පමණයි. ඔවුන් මිය යන හැටි සජීවීව බලන් ඉන්න සිදුවුනා. හැබැයි අද ලක්ෂ 500ට වඩා වියදම් කරපු තනි රෝගීන් දහස් ගානක් ඉන්නවා. එදා රුපියල් 2,80,000 ඉන්ජක්ෂන් එකෙන් සමහර වෛද්‍යවරුන්ට කෙලින්ම රු. 1,00,000 ක් ලැබුනා.  මාත‍්‍රා 10 ක් නියම කරන කොට රු ලක්‍ෂ 10 ක් ඒ වෛද්‍යවරයාගේ සාක්කුවේ. මම නැවැත්තුවේ ඒ ඔවුන් කරපු වැඩේ. ඒ නිසා ඔවුන් මාත් එක්ක තරහ වෙන එක සාධාරණයි. මට වෛර කරන එක සාධාරණයි. හැබැයි එහෙම කියලා ඔවුන්ට තවදුරටත් අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට ගන්න මම ඉඩතියන්නේ නැහැ. මොන මාර හමුදාව ආවත් මම බය නැහැ. අද පිළිකාවෙන් මිසක් පිළිකාවට බෙහෙත් නෑ කියලා රෝගීන් මැරෙන්නෙ නැහැ. 95% ක් මිනිස්සු රජයේ රෝහල් වලින් ප‍්‍රතිකාර ගන්නවා. මුදල් හිමි 5% පෞද්ගලික අංශයෙන් ප‍්‍රතිකාර ගන්නවා. ස්ටෙන්ට් එක නොමිලේ දෙන්න පටන් ගත්තම මිනිස්සු බලා ඉඳිද්දි මැරෙන එක නැවතුනා. මම එද්දි 3% ස්ටෙන්ට් දාලා තිබුනෙ. ඉතිරි 97% රජයේ රෝහල් වල බයිපාස් ලයිස්තුවේ ඉඳලා මිය ගියා. එදා රෝගීන් 6 ක් ආවොත් 5ක් මැරෙණවා. අද 6 ක් ආවොත් එක්කෙනෙක්වත් මැරෙන්නෙ නැති තත්වයට පත්කරන්න අපිට හැකිවුනා. හොඳම උදාහරණය කල්මුණේ රෝහල. මේ වෙනකොට කිසිම රෝගියෙක් මිය ගිහින් නැහැ. ටෙනෙක්ටප්ලේස්, ස්ටෙන්ට් නිසා කිසිකෙනෙක් මිය ගිහින් නැහැ."

"මට ලැබෙන චන්ද වලක්වන් ඔවුන්ට හැකිවේවි.  නමුත් මට ලැබෙන පින නවත්වන්න කාටවත් හැකියාවක් නැහැ. අක්ෂිකාච, හියරින් ඒඩ්, කොක්ලියර් ඉම්ප්ලාන්ට් නිසා අද සතුටින් ඉන්න ඇස් පේන කන් ඇහෙන මිනිස්සු ප‍්‍රමාණය දරුවන් ප‍්‍රමාණය දකින විට මම ඒ සතුට අද භුක්ති විඳිනවා. රුධිර පිළිකාවලට ප‍්‍රතිකාර නැතුව කී දෙනෙක් මැරුණද. බෝන්මැරෝ ට‍්‍රාන්ස්ප්ලාන්ට් බෑ කියලා කිවුවා. විෂබීජ නිවාරණ කුටි දෙකක් හදලා 2017 ඇට මිදුළු බද්දය පටන් ගත්තා. මේ වෙනකොට කිසිම දෙනෙකුට ජීවිත හානියක් සිදුවෙලා නැහැ. ඒ වෛද්‍යවරු මාව මුණගැහිලා තවත් කුටි තුනක් ඉල්ලූවා. මම වහාම තවත් රුපියල් මිලියන 300 ක් දුන්නා. මම එනකොට අවුරුද්දකට වකුගඩු බද්ධ කලේ 40යි. දැන් ඒක 400 කට වැඩි කරන්න මට හැකිවුනා. අග්නන්‍යාෂ ද්විත්ව බද්ධය, හෘද බද්ධය ලංකාවේ අපි ඉතා සාර්ථකවම ක‍්‍රියාත්මක කරනවා. මේ රටේ තාම කරන්න බැරිවුනේ මට පෙනහලු බද්ධය විතරයි. මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලූම පහසුකම් දුන්නා. නොබෝ දිනකින්ම පෙනහලු බද්ධය ආරම්භ වෙනවා. දුම්කොළ සමාගම් එක්ක මට ලොකු සටනක් කරන්න සිදුවුනා. අවුරුදු 134 ක් පැරණි සමාගම මේ නීති රීති ටික දැම්මොත් ලංකාව අතෑරල යනවා කියලා මට බොහොම නරක විදියට ප‍්‍රතිචාර දැක්වුවා.  හැබැයි ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්න කෙනෙක් නෙමේ මේ රාජිත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි නිවාරණය වෙනුවෙන් දමා ඇති කොන්දේසි 22 න් 21 ක්ම මම මේ වන කොට ලංකාව තුළ කි‍්‍රයාත්මක කරනවා. මට තාම කරන්න බැරිවුනේ තනි සිගරට්ටුව විකුණන එක නතර කරන්න විතරයි.  ඒකත් මම ඉක්මනටම කරනවා. පැණී බීම සහ සීනි වෙනුවෙන් මම වර්ණ සංකේත ක‍්‍රමය හඳුන්වලා දුන්නා. මේ ආකාරයට මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ චිරස්ථිතිය වෙනුවෙන් මේ අවුරුදු තුනහමාරක වැනි සුළු කාලය තුළ මම බොහේ දේ කළා. තවත් බොහෝ දේ කළ යුතුයි. කළ හැකියි. ඒ වෙනුවෙන් මම ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වලදී ඔබලාගේ උදව් මට අවශ්‍ය වෙනවා. ඒ මේ රටේ මිනිස්සු වෙනුවෙන් යහපතක් කරන්න. මෙවැනි සංවිධාන තවතවත් ශක්තිමත් විය යුතුයි. ඔබේ එකමුතු කම තියාගන්න. ජේසුතුමා පාවදුන්නේ ළඟම හිටිය කෙනෙක් වගේ මේවා කඩා කප්පල් කරන අය මේ අතරම ඉන්න පුළුවන්. ශක්තිමත්ව නොනැවති අවදියෙන් පෙරට යන්න."

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට සමස්ත ලංකා පුද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද, ගාල්ල දිස්ත‍්‍රික් ඖෂධ ව්‍යවසායකින්ගේ සංගමයේ සභාපති පියල් අබේසිරි ගුණවර්ධන මහතා ඇතුළු සාමාජිකයන් මෙන්ම මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ඖෂධ ව්‍යවසායකින්ගේ සංගම් නියෝජිතයන්ද සහභාගි වූහ.

Last modified on Tuesday, 10 September 2019 10:53