April 26, 2024

අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා බව ජනපති කියයි

December 10, 2018

අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමඟ ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (9) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

තනි පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබඳ තමා කිසිසේත් සතුටු නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදුනොවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මනින් වෙනස්වී අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලය සමඟ කටයුතු කිරීමට ඉක්මනින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද විශ්වාසය ප‍ළ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයකුගේ සහ ඇමැති මණ්ඩලයක ක්‍රියාකාරිත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කෙළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප්‍රශ්නයක් මෙන්ම තමා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ප්‍රශ්නයක් ලෙස විග්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව සඳහන් කළ ජනාධිපතිතුමා විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගී සිටිය යුතුයි යන දර්ශනය ක්‍රියාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක්ව ඇති බවද සඳහන් කළේය. මෙය රටේ ජනතාව අවබෝධ කරගත යුතු කරුණක් බව සඳහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලු ජනතාව මාතෘ භූමිය පිළිබඳ සිතමින් තීන්දු තීරණ ගනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංගශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

රුපියල් මිලියන 294 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 4500 ක් වෙත ප්‍රතිලාභ ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක්විය.

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on Monday, 10 December 2018 09:15