April 26, 2024

කැබිනට් රැස්වීමේ මත ගැටුම්! කොළඹ වරාය ඉන්දියාවට බදුදීමේ යෝජනාවට ජනපතිගෙන් දැඩි විරෝධයක්

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බවට ඊයේ (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත්, මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

තමන් නුදුරු දිනකදී සිදු කිරීමට නියමිත ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ඉල්ලීමක්ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුනහොත් හදිස්සියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බවයි.

එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යාම වැදගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රජයේ ආයෝජන සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කර ඇත. ‘කුරුණෑගලින් අක්කර 400ක් කර්මාන්ත ශාලාවකට කියමින් ගත්තද කරපු දෙයක් නොමැති බවත් හොරණ ආයෝජන කලාපයකට රබර් වගා බිමක් ගත්තත් ඒ සියල්ලෙන් සිදු කළේ ගස් කැපීම පමණක්' බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ තත්ත්වය මත කැබිනට් මණ්ඩලයේ මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.