March 29, 2024

මෛත්‍රී - ගෝඨා ඝාතන කුමන්ත්‍රණ පිටුපස ඉන්නේ ෆොන්සේකා - නාමල් කුමාර හෙළි කරයි (VIDEO)

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

නමුත් ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා සාක්කි නොමැති නිසා තමා නිහඬව සිටින බවද අම්පාර මහඔය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවත් ඒ ගැන සරත් ෆොන්සේකා මහතා නොදන්නා බවත් ඒ ගැන නොදන්නා ෆොන්සේකා මහතා මේ දිනවල නිකුත් කරන ප්‍රකාශවලින් ඒ සබඳතා පිළිබඳ සැබෑ ලෙස පිළිඹිඹු වන බවත් නාමල් කුමාර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා තමාගෙන් විමසීමක් කළහොත් ඊට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයා තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළහොත් පමණක් ඊට පිළිතුරු දෙන බවත් පැවසූ නාමල් කුමාර මහතා එසේ නොමැතිව සාක්කි නොමැති දේවල් පවසා තමා සිරගත වීමට සුදානම් නොමැති බවද පැවසීය.

තුෂාර පීරිස් නැමැත්තා ප්‍රංශයේ සිට ලංකාවට ආයුධ ගෙන්වමින් රාජ්‍ය විරෝධි ක්‍රියාවක නිරත වීමට යන බව තමා පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා විසින් තමාට නාලක ද සිල්වා හඳුන්වා දුන් බවත් පසුව නාලක සිල්වා මහතා එම සිදුවිම් සඳහා තමා භාවිත කිරීමට උත්සාහ කළ බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින්,