April 27, 2024

ඒකාබද්ධයෙන් අලුත් පක්ෂයක්: “පොහොට්‌ටුවේ“ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

December 04, 2017

'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කර ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එක් වේදිකාවකට ගෙනැවිත් මෙම ආණ්ඩුව පරාජය කිරීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් 'පොහොට්ටුව' යටතේ තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමේ අරමුණෙන් මෙම ජනරැලිය සංවිධාන කරන බව ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රැලියේදී වත්මන් ආණ්ඩුවට යම් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒකාබද්ධය නව පක්ෂයකින් ඡන්ද සටනට

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලන පක්‍ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව පක්‍ෂයකින් පොහොට්‌ටුව ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.

මෙම නව පක්‍ෂය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ මහජන පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්‌ති ජනතා පෙරමුණ, ලිබරල් පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කඳුරට පෙරමුණ, දෙමළ මහජන විමුක්‌ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන 20 කට වැඩි සංඛ්‍යාවක්‌ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට එකඟතා පළකර ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.