April 27, 2024

බලය ගන්න මහින්දගෙන් උපක්‍රමයක් - ආණ්ඩුවේ තිදෙනෙක් මහින්ද එක්ක සාකච්ඡා කරයි

ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පිරිස එහි රැදී සිටිමින් කටයුතු කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් නොවූ බවත් එලෙස තාවකාලිකව යාමට ඒමට අයිතියක් ඇති බවත් එම සිද්ධි නිසා කුතුහලය ඇති වන බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් කණ්ඩායමක් එන්න හදන නිසා තමන් උපක්‍රමශීලි විය යුතු බවත් කියා සිටියේය.

තමා සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සාකච්ඡා කළ බවත් නමුත් 17 දෙනාම ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් පෙරේදා(19) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් තමන් ඉවත්වන බවයි.
ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බව ඔහු කියා සිටියේය.

තම දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයින් විසින් තමාගෙන් විමසීමකින් තොරව බිම් මට්ටමද, හරිහැටි හඳුනා නොගෙන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් දිස්ත්‍රික්කයට නායකත්වය දෙමින් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අපහසුතාවක් මේවන විට නිර්මාණය වී ඇති බවත් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.

Last modified on Friday, 21 July 2017 12:05