April 16, 2024

හම්බන්තොට වරාය ගිවිසුම පිටුපසත් ඇලෝසියස් කෙනෙක්

චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය ලබා දීමෙන් මේ ගිවිසුම පිටිපස්සේත් ඇලෝසියස් කෙනෙකු සිටින බව පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද(31) කොළඹදී පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනි.

ඒ ඇලෝසියස් කව්ද යන්න එපාට්මන්ට ගනුදෙනු වෙනකොට සොයාගත හැකිවනු ඇති බවත් ලක් අම්මා 2015 ජනවාරි 8 අප්පච්චිව අත් හැරලා බාප්පොච්චියෙක් සරණ ගිය බවත් අප්පච්චි ආදරයෙන් හැදූ දරුවන්ට ඒ බාප්පොච්චි වෙනස්කම් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම හම්බන්තොට වරාය විකුණා දැමීමට හේතු ලෙස ආණ්ඩුව පෙන්වා දෙන්නේ රාජපක්ෂ ණය බර බවත් එය මෙය ආණ්ඩුව විසින් පවසන පට්ටපල් බොරුවක් බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“හම්බන්තොට වරාය විකුණා දැමීමට හේතු ලෙස ආණ්ඩුව කියන්නේ රාජපක්ෂ ණය බරයි. මේක පට්ටපල් බොරුවක්. වරාය අධිකාරිය කිසිම අපහසුවකින් තොරව 2016 දක්වාම ණය සහ පොලී ගෙවා දැවැන්ත ලාභයක් ද ලැබුවා. ඉදිරියටත් කිසිම අමාරුවකින් තොරව ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් තිබෙන බව වරාය අධිකාරියේ අනාගත ලාභ පුරෝකතන කිරීම් හරහා එහි මුල්‍ය අංශය වාර්ථාකොට තිබෙනවා. වරාය ඉදි කිරීම සඳහා ලබා ගත් ණය මුදල ඩොලර් මිලියන 1,266යි. 2036 දක්වා ගෙවිය යුතු සම්පූර්ණ ණය පොලිය ඩොලර් මිලියන 495යි. 2036 වන විට අපි ගෙවන සම්පූර්ණ මුදල ඩොමි 1,761යි. එයින් ඩො.මි 498ක් 2016 අග වන විට ගෙවා අවසන් කරලා තිබ්බේ. ඒ වගේම අනිත් අතට ණය බර නිසා නම් මේක විකුණුවේ විකුණා ලැබෙන ආදායමෙන් ණය කපා හරින්න ඕනෑ. මම ඉතාම වගකීමෙන් කියනවා වරාය විකුණා ලැබෙන මුදලින් එක ශත පහක් ණය කපා හරින්න මේ මුදල් ගන්නේ නෑ ගිවිසුමට අනුව. ජාතිය සතු මේ වටිනාම සම්පත විකුණලත් ණය බර ශත පහකින් වෙනස් වෙන්නේ නෑ. ඒ වෙනුවට අප සතු වටිනාම සම්පත විකුණා ලත් ඒ මුදල ගෙන්වා ගන්නේ භාණ්ඩාගාරයට. ආණ්ඩුවේ ඇමතිවරුන් සැප විඳින්න සවාරි ගහන්න ගත්තු ණය තමයි මේ මුදලින් ගෙවන්නේ.“

“මේ ගනුදෙනුවේ දැවැන්ත දූෂණයක් තිබෙනවා. වරායේ උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පස් පුද්ගල කමිටුව චයිනා මර්චන්ට් සමාගම චයිනා හාබර් සමාගමෙන් ලබා දුන්නු යෝජනා දෙක අධ්‍යනය කළා. චයිනා මර්චන්ට් සමාගම වසර 99ට ආණ්ඩුවට ලබා දෙන්නේ ඩොමි 1,888ක ආදායමක්. නමුත් චයිනා හාබර් සමාගම වසර 50ට ඩොමි 3,281ක්. වසර 99ට නම් දළ වශයෙන් ඩො මි 6,560ක්. චයිනා හාබර් සමාගම දෙන මුදලෙන් තුනෙන් එකක්වත් දෙන්නේ නැති චයිනා මර්චන්ට් සමාගමට වරාය දීමෙන් මේ ගිවිසුම පිටිපස්සේත් ඇලෝසියස් කෙනෙකු සිටින බව පැහැදිලියි. ඒ ඇලෝසියස් කව්ද කියලා එපාට්මන්ට එහෙම ගනුදෙනු වෙනකොට සොයාගත හැකි වේවී.“

ලක් අම්මා 2015 ජනවාරි 8 අප්පච්චිව අත් හැරලා බාප්පොච්චියෙක් සරණ ගියා. ඉතින් අර අප්පච්චි ආදරයෙන් හැදූ දරුවන්ට ඒ බාප්පොච්චි වෙනස්කම් කරනවා. දරුවන්ව ඉන්දියාවට චීනයට මෙහෙවර කමේ යවනවා. දරුවන් හැදූ අප්පච්චිට වේදනාවයි. ළඟදීම අප්පච්චි තමන් හැදූ දරුවෝ රැක ගන්න එනවා කියලා අපි සිහිපත් කරනවා.නුදුරු අනාගතයේ බිහි වෙන අපේ ආණ්ඩුවකින් හම්බන්තොට වරාය යළි ජනසතු කරන බව අපි කිව්වාම සමහරු අහනවා පෝට් සිටි පවරා ගත්තා වගේ ද කියලා. සමහරු අපට උපදෙස් දෙනවා චීනය කියන්නේ අනාගත ලෝකයේ සුපිරි බලවතා. නිකන් කළු ගලේ ඔළුව ගසා ගන්න එපා කියලා. නමුත් හරි කලාවට කළු ගලේ ඔළුව ගැහුව්වොත් ඔළුව තුවාල වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන බව ඉතිහාසයේ තිබෙනවා.“ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Last modified on Monday, 31 July 2017 14:42